ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.
නව ඇණවුම් සඳහා නොව දැනට නැව්ගත කර ඇති තෙල් සඳහා පමණක් මෙය බලපැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසන්නේ.
කෙසේ නමුත් මෙම සම්බාධක ඉවත්වන්නේ දින 30ක කාලයක් සඳහා පමණක් බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.
ඇමරිකාව හා ඊශ්රායලය එක්ව ඉරානයට එරෙහිව ප්රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඇරඹි මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති අර්බුදයක් ගොඩ නැගී තිබේ.
ඒ අනුව පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ලෝක බලශක්ති වෙළෙඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගනිමින් ඇමරිකාව උක්ත තීරණයට පැමිණ ඇත.
ඒ අනුව ඉරාන තෙල් සඳහා පනවන ලද විකුණුම් සීමා ඉවත්කිරීමත් සමග දින 10ත් 14ත් අතර කාලයකදී ලෝක බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් පහත වැටෙනු ඇති බවට අමෙරිකාව ඇස්තමේන්තු කර ඇත.
අමෙරිකාව පසුගියදා රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමටත් කටයුතු කර තිබුණි.





