2026 ගෝලීය සාම දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව ගෝලීය වශයෙන් 67 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කරනු ලබයි.
2026 වර්ෂය ගෝලීය සාමකාමීත්වය අඛණ්ඩව පිරිහුණු 12 වන වර්ෂය ලෙස වාර්තා අතරට එක්විය.
ලෝකයේ සාමකාමීත්වය පසුගිය වර්ෂයට වඩා මෙවර සියයට 0.7කින් පිරිහී තිබේ.
2008 වර්ෂයේ සිට මෙම ගෝලීය සාම දර්ශකය ප්‍රකාශයට පත් කරන අතර එම වර්ෂයේ පැවති තත්ත්වයට වඩා රටවල් 119ක් අඩු සාමකාමී මට්ටමට පත්ව ඇති බව වාර්තාවේ දැක්වෙයි.
ගෝලීය සාම දර්ශකයේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර නවසීලන්තයට දෙවන ස්ථානයත් ස්විට්සර්ලන්තයට තෙවන ස්ථානයත් හිමිව තිබේ.
රටවල් 163ක් අතරින් ලෝක සාම දර්ශකයේ අවසන් ස්ථානය රුසියාවට හිමිව ඇති අතර 162 වන ස්ථානය සුඩානයට හිමිවී ඇත.
එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව රටවල් 99ක් සාමකාමීත්වයෙන් පහත වැටී ඇති බවද දැක්වෙයි.
ගෝලීය සාම දර්ශකයේ දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගැනීමට භූතානය සමත්ව සිටින අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.
දකුණු ආසියානු කලාපයේ අවම සාමකාමීත්වයක් ඇති රට ලෙස ඇෆ්ගනිස්ථානය පත්ව ඇති අතර ඉන්දියාව පස් වන ස්ථානයේ පසුවෙයි.






