මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය පිරිස 25 දක්වා ඉහළ නැග ඇති බව නිල ආරංචිමාර්ග වාර්තා කළත්, එම පිරිස මෙයට වඩා වැඩි විය හැකි බවට ආරංචිමාර්ග පෙන්වා දෙයි.
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 දෙනෙකු මියගොස් තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය තහවුරු කරයි. මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු සහ රැඳවියන් සිව් දෙනෙකු සිටින බවට දැනට වාර්තා වී ඇත.
අද පෙරවරුවේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක් ඇසුණු බවට වාර්තා වන අතර, රැඳවියන් ප්රධාන දොරටුවෙන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට සිදුවිය. උදෑසන 10.00ට පමණ ඇති වූ මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්රමයක් දැරූ අතර, අනතුරුව ඔවුන් බන්ධනාගාරය තුළට ද ඇතුළු විය.
මේ අතර, යළිත් වරක් වෙඩි හඬ ඇසීමත් සමඟ බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් කලබල වී විරෝධතා දැක්වීමට පටන් ගෙන ඇත. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ද පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ.
මේ වන විට බන්ධනාගාරයේ සහ අවට ප්රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ශ්රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ත්රිවිධ හමුදාවේම සහාය ලබාගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. තත්ත්වය තවමත් මුළුමනින්ම පාලනය වී නොමැති බවද ආරංචි මාර්ග පවසයි.






