1997 වසරේදී මහමගදී මත්ජවාරම්කරුවන් පිරිසක් විසින් මරා දැමූ බව කියන වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වූ උපාලි තෙන්නකෝන් මහතාගේ දියණිය වන කාවින්ද්‍යා තෙන්නකෝන් විසින් ෆේස්බුක් සටහනක් තබමින් පවසන්නේ රිද්‍රතාවය, බිඳවැටුණු පාසල්, තරුණ ප්‍රජාවගේ අඩපණ වූ මානසික සෞඛ්‍යය සහ ජාවාරම්කරුවන් පෝෂණය කරන දේශපාලන ක්‍රමය (සහ ජාවාරම්කරුවන් විසින් පෝෂණය කරන දේශපාලනය) පවතිද්දී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ පරමාදර්ශී අදහස් ගැන කතා කිරීමෙන් කිසිදු පලක් නොවන බවයි.
ඇය ඉංග්‍රීසි බසින් තැබූ සටහනේ පරිවර්තනයක් පහතින්,
මගේ පියා, උපාලි තෙන්නකෝන්, වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලෙස සේවය කළා. 1997 වසරේ, මගේ දෙවැනි උපන්දිනය සමරා මාසයකට පසු, ඔහු රාජකාරිය නිමවා නිවස බලා එමින් සිටියදී ඝාතනයට ලක්වුණා. නිවසට පැය කිහිපයක දුරින්, බස් රථයක් තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසිනුයි ඔහුව ඝාතනය කළේ. ඔහු ඝාතනය වූ නිශ්චිත වේලාව ඔහුගේ අත් ඔරලෝසුවේ තවමත් සටහන් වී තිබෙනවා.
ඔහු කළ එකම වරද වූයේ, මේ රටේ තිබෙන අවලස්සනම, අපිරිසිදුම සහ බිහිසුණුම ස්ථානය වන බන්ධනාගාරය තුළ නීතියේ ආධිපත්‍යය සහ මනුෂ්‍යත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමයි. ‘සිරකරුවන් ද ප්‍රථමයෙන්ම මනුෂ්‍යයෝය’ යන්න මුලින්ම කියන්නේ ඔහුයි. ඒ වගේම හිරගෙදරට නියම වන බොහෝ දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලාභ ලබන හෝ එහි මහමොළකරුවන් නොවන බව ඔහු නිතරම විශ්වාස කළා.
මට දැන් වයස අවුරුදු 31 යි. දශක තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් කිසිවක් වෙනස් වී නැති බව අද මෙතැන හිඳිමින් වටහා ගැනීම කෙතරම් කටුක දෛවයේ සරදමක්ද. අප ජීවත් වන්නේ ප්‍රතිසංස්කරණ නොමැතිව, දැඩි ලෙස කුණු වී, බිඳවැටී ගිය රටක සහ පද්ධතියක් තුළ බව එයින් පෙනී යනවා.
විරෝධය පෑම සඳහා දැන් කළු පටි පැළඳ සිටින පෙර ආණ්ඩුවල සිටි අයට මට කියන්නට ඇත්තේ – කැඩපතින් ඔබේ අපිරිසිදු මුහුණු දෙස බලා, ඒ කළු පටිය ඔබේ වරදකාරී දෑස් මත බැඳගන්නා ලෙසයි. අද පුද්ගලයින් 26 දෙනෙකුට ජීවිත අහිමි කර ඇති මේ පද්ධතිය මතම යැපෙමින් වැජඹුණේ ඔබයි.
සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ක්ෂේත්‍රයේ මිතුරන්ට කියන්නට ඇත්තේ – සමහරවිට අපට ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පද්ධතීන් අපගේ සැබෑ ජීවන අත්දැකීම්වලින් බොහෝ දුරස්ව පවතිනවා. ඒ නිසාම ඒවාට දෙන විසඳුම් වඩාත් පහසු කර පෙන්වීමට අප ඒවා ඕනෑවට වඩා සරල කරනවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සඳහා පරමාදර්ශී (idealistic) සැලසුම් සකස් කරන අප බොහෝ දෙනෙක්, ඒ තුළ ඇති සැබෑ තත්ත්වය දැඩි ලෙස අවතක්සේරු කරනවා. සිරකරුවන් සහ නිලධාරීන් මුහුණ දෙන ම්ලේච්ඡ එදිනෙදා යථාර්ථයන් සහ සැබෑ පුනරුත්ථාපනයක් සඳහා කොතරම් සම්පත් ප්‍රමාණයක් අවශ්‍යද යන්න අප තේරුම් ගෙන නැහැ.
තාත්ති කියන්නේ ඕනෑම තැනක සිටි විනෝදකාමීම පුද්ගලයායි. ඔහු වේදිකා නාට්‍යවලට ආදරය කළා, නිතරම මගේ අම්මාව හිනැස්සුවා, ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙක් වුණා. ඒ සියල්ලටම වඩා ඔහුට රාජකාරිය, යුක්තිය පිළිබඳ දැඩි හැඟීමක් සහ ඉතා පුළුල් හදවතක් තිබුණා.
අද දවසේ මම වගේ තවත් බොහෝ දෙනෙක් තමන්ගේ පියාගේ නිසල දේහය දෙස බලාගෙන ඔවුන් නැවත අවදි වේවිදැයි කල්පනා කරමින් ඉන්නවා ඇති. ඒ අතර නිලධාරීන්ගේ දරුවන් මෙන්ම සිරකරුවන්ගේ දරුවන්ද සිටිනවා.
වසර ගණනාවකට පසු, මගේ පියා ඝාතනය කළ මත්ද්‍රව්‍ය කල්ලිය ක්‍රියාත්මක වූ එක් ප්‍රදේශයක ප්‍රජා ගුරුවරියක් ලෙස මම සේවය කළා. සිරකරුවන්ගේ මනුෂ්‍යත්වය ක්ෂණයකින් ප්‍රතික්ෂේප කරන අයට මට කියන්නට ඇත්තේ – කුඩා පිරිමි ළමයෙකුට බන්ධනාගාරයට යාම සඳහා කදිම මාවතක් සකසා දෙන ඔවුන්ගේ පවුල් පසුබිම්, දරිද්‍රතාවය, ප්‍රචණ්ඩත්වය සහ වේදනාකාරී අපයෝජනයන් කෙබඳුදැයි ඔබ දැක්කා නම් කියා මම ප්‍රාර්ථනා කරනවා.
බිහිසුණු මත්ද්‍රව්‍ය පාතාලය විසින් ඝාතනය කරන ලද මිනිසෙකුගේ දියණියක ලෙස – බන්ධනාගාර නිලධාරීන්ට රැකවරණය අවශ්‍ය බව මුලින්ම පවසන්නේ මමයි. කිසිදු ආරක්ෂාවක් නොමැතිව ඔවුන්ව යවන්නේ සිංහයාගේ කටටයි.
ඒ සමගම මා පවසන්නේ, සංවිධානාත්මක අපරාධ බෝවන ස්ථාන තවදුරටත් පැවතීමට අප ඉඩ දෙන්නේ නම්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ පරමාදර්ශී අදහස් ගැන කතා කිරීමෙන් කිසිදු පලක් නොවන බවයි. දරිද්‍රතාවය, බිඳවැටුණු පාසල්, තරුණ ප්‍රජාවගේ අඩපණ වූ මානසික සෞඛ්‍යය සහ ජාවාරම්කරුවන් පෝෂණය කරන දේශපාලන ක්‍රමය (සහ ජාවාරම්කරුවන් විසින් පෝෂණය කරන දේශපාලනය) ඊට අයත් වෙනවා.
මෙය අවසාන සිදුවීම වේවා!






