/ Jul 13, 2026

වැලිකඩ බන්ධනාගාරයේදී වධහිංසාවට ලක්වූ රැඳවියන්ට සහ නීතිඥවරුන්ට බන්ධනාගාරයෙන් වාරණයක්?

වැලිකඩ බන්ධනාගාරයේදී වධහිංසාවට ලක්වූ රැඳවියන් පෞද්ගලිකව හමුවීමට නීතිඥවරුන්ට අවසර ලැබී නැතැයි වාර්තා වෙයි.

අද (13) දින නීතිඥවරුන් වන සේනක පෙරේරා, සුරේන් ඩී. පෙරේරා, ධනුෂ්ක ද සිල්වා, මනුෂිකා කුරේ සහ මාධව ඉරියගම යන මහත්ම මහත්මීන් අදාළ පරිශ්‍රය වෙත ගොස් තිබුණු අතර රැඳවියන්ගේ දෑත්වල පැහැදිලිව පෙනෙන තුවාල ඇති බවත්, දැඩි වේදනාව හේතුවෙන් ඔවුන්ට ඇවිදීමට අපහසු වී ඇති බවත් එහිදී ඔවුන් විසින් සෘජුවම නිරීක්ෂණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම පහරදීම්වලට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති බන්ධනාගාර නිලධාරීන් විසින්ම රැඳවියන්ට සහ නීතිඥවරුන්ට පෞද්ගලිකව සාකච්ඡා කිරීමට ඉඩක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඔවුන් සමස්ත සංවාදයටම සවන් දෙමින් අසලම රැඳී සිට ඇති අතර මෙම තර්ජනාත්මක වාතාවරණය යටතේ, තමන් මුහුණ දුන් වධහිංසාවල සම්පූර්ණ තොරතුරු ආරක්ෂිතව හෙළි කිරීමට රැඳවියන්ට හැකියාවක් ලැබී නැති බවයි කියවුණේ.

සේවාදායකයා සහ නීතිඥවරයා අතර තිබිය යුතු රහස්‍යභාවය මෙලෙස බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නිල පැමිණිල්ල භාරගැනීමද වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන පසුබිමක අදාළ නිල පැමිණිල්ල බන්ධනාගාර මූලස්ථානයට ගොනු කර ඇත.

ඒ අනුව මෙම වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් අධිකරණ මැදිහත්වීමක් (අධීක්ෂණයක්) වහාම අවශ්‍ය වී තිබෙන බව උක්ත නීතිඥවරු අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top