/ Aug 12, 2026

විභාග අක්‍රමිකතාවක් කළා, ලක්ෂ 50ක් වන්දි ඕනෑ : කොළඹ සරසවි සිසුවෙක් උපකුලපතිට – පාලනාධිකාරියට නඩු දමයි!

විභාග අක්‍රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ පනහක වන්දියක්  අයකර දෙන්නයි ඉල්ලා එහි සිසුවෙකු නුගේගොඩ දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරා ඇත.

මුලින් විභාගය අසමත් වූ බව දැනුම් දී තිබියදී  කිසිදු විභාගයක් හෝ නොපවත්වා පසුව අවස්ථාවක විභාගය සමත් කර ඇති බව දැනුම් දෙමින් විශ්වවිද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රදානෝත්සවයක්ද පවත්වා ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් සිසුවෙකු මාර්ගයෙන් තමාගෙන් රුපියල් 80000/- ක මුද්ලක් ඇගේ ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටි  බවටද චෝදනා කර සිටි.  

කොළඹ විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සිද්ධීන් හේතුවෙන්  ඔවුන් තමා සමග අමනාපයෙන් පසුවීම නිසා ඔවුන් තමා විභාගයෙන් අසමත් කළ බව පවසමින් කොළඹ සරසවියේ සිසුවෙකු වූ සනත් කුමාර අතුකෝරළ මහතා විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් වන්දි ඉල්ලා මෙලෙස නඩු පවරා ඇත. 

සනත් කුමාර අතුකෝරළ මහතා මෙලෙස නඩු පවරා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි , ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, එහි අංශ ප්‍රධානී සෂිකා අබේදීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති එච්. ඩී . කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට සහ නීතිපතිවරයාටය.

නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කරන සනත් කුමාර අතුකෝරල මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2022/2023 හැදෑරීම සඳහා කළ ඉල්ලීමකට අනුව තමන් බඳවා ගත් බවත‍් පාඨමාලාවේ පළමු තෙස්තමේන්තුවේදී කිසිදු අර්බුදයක් උද්ගත නොවූ නමුත් දෙවැනි තෙස්තමේන්තුවේදී 508 විෂය වශයෙන් හඳුන්වනු ලබන කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය සහ 510 විෂය වශයෙන් හඳුන්වනු ලබන ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය විෂයන්වලදී තමන්ට විශාල අසාධාරණයක් වූ බවත‍්  සඳහන් කර ඇත. 

508 විෂය ඉගැන්වූ කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි මහත්මිය එක් අවස්ථාවක සිසුවකු මාර්ගයෙන් මුදල් හදිස්සියක් බව පවසමින් ඇගේ ගිණුමට රුපියල් 80 000/-ක මුදලක් බැර කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බව පෙන්වා දෙන සනත් කුමාර අතුකෝරල මහතා තමා ඊට එකඟ නොවූ බව ද සඳහන් කර ඇත.

මෙම සිද්ධියෙන් අනතුරුව 2024 මැයි මස 18 සහ 19 වැනි දිනවල කිරිඇල්ල විජය රිසෝටේ ආයතනයේදී  පාඨමාලාවට අදාළ දෙදින වැඩමුළුවක් සංවිධානය කර තිබූ බවත් එම වැඩමුළුවට දියගුආරච්චි මහත්මියගේ සැමියාද පැමිණ සිටි බවත් සඳහන් කරන අතුකෝරල මහතා එක් සිසුවකු පැමිණ දියගුආරච්චි මහත්මියගේ සැමියාට තමාගේ කාමරයේ නවාතැන් ගැනීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීමට තමා විරුද්ධත්වය පළ කළ බවත‍් ඉන්  අනතුරුව ඇය තමා සමඟ වෛරයක් ඇතිකරගත් බවත‍්  සඳහන් කර ඇත

ඉන් පසු අවස්ථාවක පැවති විභාගයේදී 508 විශේෂ සඳහා ඇය නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගොස් අසාධාරණ අත්තනෝමතික හා පලිගන්නා අන්දමින් තමන්ට අගතිදායක වන ලෙස අඩු ලකුනු ලබා දී තමන් විභාගයෙන් අසමත් කර ඇතැයි පවසන පෙත්සම්කාර සනත්  අතුකෝරල මහතා විභාගය පැවැත්වීමට පෙරම ඇය විභාගයේදී එන ප්‍රශ්න මොනවාද යන්න වෙනත් සිසුන් කණ්ඩායමකට හෙළි කර ඇති බවටද චෝදනා කර සිටි. 

2025 වසරේ ජනවාරි මාසයේදී තමන් මේ ආකාරයෙන් අසමත් කර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව තමා මේ පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කළ බවත් 2025 වසරේ අප්‍රේල් මාසයේදී තමන් ඇතුළු සිසුන් කීපදෙනෙකු විභාගය සමත් වී ඇති බව දක්වමින්  නව ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කර ඇතැයි පවසන සනත් කුමාර අතුකෝරළ  මහතා ජනවාරි මාසයත් අප්‍රේල් මාසයත් අතර කාලය තුළදී මේ විෂයට අදාළව කිසිදු විභාගයක් නොපැවැත්වූ බවද අවධාරණය කර සිටි. 

510 විෂය සඳහා බාහිර ක්‍රියාකරකමක් වශයෙන්  සිසුවකුගෙන් රුපියල් 3500 /- බැගින් මුදල් එක්තු කර කණ්ඩායම් ව්‍යාපෘතියක් පැවැත්වූ බවත් එම ව්‍යාපෘතිය සඳහා සිසුන් පිරිසක් මුදල් දී ව්‍යාපෘතියටද සක්‍රීයව සම්බන්ධ වුවත් නම් සඳහන් කළ සිසුන් කීප දෙනෙකු මුදල් ලබා දුන්නත්  ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ බව පෙන්වා දෙන පෙත්සම්කරු ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ වූ සිසුන්ට මෙන්ම ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ මෙම සිසුන් පිරිසටද සම්පූර්ණ ලකුණු දී ඇති බවටද චෝදනා කර සිටි. 

නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කළා නම් තමන්ට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව කථිකාචාර්යවරුන්ගේ මෙම අත්තනෝමතික, අනීතික හා අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙන් තමන්ට අහිමි වූ බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ සම්බන්ධයෙන් තමන් විශ්වවිද්‍යාලයේ ඉහළ පාලනාදිකාරියට මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට කළ පැමිණිලිවලට අනුව ආරම්භ කළ විමර්ශන තවමත් සිදුවන බවද පෙන්වා දී ඇත. 

මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේද? යන්න පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන්  තමන්ට මෙතෙක් සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැතැයි සඳහන් කරන සනත් කුමාර අතුකෝරළ මහතා වගඋත්තරකාර විශ්වවිද්‍යාල  නිලධාරීන් අනීතික සහ නීතිවිරෝධී ක්‍රමෝපායන් අනුගමනය කරමින් මුලින් විභාගය අසමත් වූ බව පැවසූ සිසු පිරිස පසු අවස්ථාවක විභාගය සමත්කර ඇති බවට ද චෝදනා කර සිටි. 

විශ්වවිද්‍යාලයේ මෙම විභාග අක්‍රමිකතාවය පිළිබඳ ඉහළ බලධාරීන්ට පැමිණිලි කරන ලදුව ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වෙන බවත් එම විමර්ශනය අවසන් කර නොතිබියදී තමාගේ විරෝධයද නොතකා විශ්වවිද්‍යාල බලධාරීන් විසින්  විභාගය අසමත් වූ සිසුවකුටද උපාධි ලබා දී ඇතැයි චෝදනා කරන පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරල මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම නීතිවිරෝධී හා වංචනික ක්‍රියාකලාපය හේතුවෙන්  තමාට අදාළ පාඨමාලාවෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ බවත් මිතුරන් අතර තමා සමච්චලයට ලක්ව ඇති බවත් පෙන්වා දී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ වගඋත්තරකාර බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමාගේ කාලය, ශ්‍රමය මෙන්ම ධනයද නිස්කාරණයේ නාස්ති වී ඇති බවට චෝදනා කරන සනත් කුමාර අතුකෝරළ මහතා තමාට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50ක වන්දියක් වගඋත්තරකාර විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් අයකර දෙන්නයි ඉල්ලා සිටි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top