ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (14) රාත්‍රියේදී අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ.
සැකකරු සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර දී ඇත.
පොලීසිය පවසන්නේ සැකකරුට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ අනර්ථයක් / හානියන් සිදු කිරීම යන චෝදනා ගොනුව පවතින බවයි.
සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳවද ඉදිරීයේදී විමර්ශන සිදු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.
48 හැවිරිදි ශිරාන් බාසික් දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකි.
ඔහු 2018 වසරේදී ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබුණි.
සැකකරු ඉරාන – අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.






