රත්නපුර මහවලවත්ත ග්‍රාමයේ උපත ලැබූ සත්ති උමාගේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ෆර්ගසන් උසස් විදුහලෙනි. රත්නපුර ජේසු බිළිඳාගේ කන්‍යාරාමයට ඇය ඇතුළු වන්නේ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තවදුරටත් ලබාගැනීම සඳහාය. එහෙත් ඉතාම අවාසනාවන්ත තත්ත්වය වූයේ අධ්‍යාපන සහතික පත්‍ර සාමාන්‍ය පෙළෙන් ඔබ්බට යෑමට තිබූ ආශාවට තිත තැබීමට උමාට සිදුවීමය. ඊට හේතු වූයේ තම පවුලේ ආර්ථික දුෂ්කරතාය.
කෙසේ වෙතත් ඇය තමන් ලද අධ්‍යාපනයෙන් හා සමාජශීලී ජීවිතයෙන් උපන් ගමේ සහෝදර ජනයාට සේවයක් කිරීමට සිතුවාය. ඊට ඇයට මග පෑදුවේ සමෘද්ධි සමිතියයි. ප්‍රතිලාභ ලැබීමේ සැබෑ සුදුස්සන් වුවද මලයගම් ජනයාගේ දිළිදුභාවය තුරන්කිරීමේදී ව්‍යාපෘති ගැන නිවැරැදි සන්නිවේදනය ගැටලුවක් බව උමාට වැටහිණි. ද්විභාෂිකව තමා ලැබූ අධ්‍යාපනයේ වටිනාකම ඇයට වැටහුණේ එහිදීය.
“අපි සමෘද්ධි සමිතියට මාසිකව යා යුතුයි. එතන ගොඩක් අයට සිංහල තේරුම්ගන්න අමාරුයි. මේ නිසා හරියට පණිවිඩය යන්නේ නෑ. මම රත්නපුර ජේසු බිළිඳාගේ කන්‍යාරාමය කියන සිංහල ඉස්කෝලෙ ඉගෙනගත් නිසා අපේ ගමේ අයට නිවැරැදිව සන්නිවේදනය කරන වැඩේ මට පැවරුණා.”
සත්ති උමා නොදැන සිටියාට ඇයගේ දේශපාලන ජීවිතයට අඩිතාලම වැටුණේ එහිදීය. මේ සන්නිවේදන කුසලතාව නිසාම සමෘද්ධි සමිතියේ කාරක සභිකයකුගේ තැන සිට උපලේකම් හා උපසභාපති තනතුරුවලට පත්කෙරුණු ඇයට නිරුත්සාහයෙන්ම සභාපතිගේ වගකීම ද පැටවිණි. සමාජ සේවයක් සේ සලකා සමිතියේ කටයුතුවලට කරඋර දුන් ඇයට මහජන නියෝජිතයකු වීම සඳහා ආරාධනා කරන්නේ සමගි ජනබලවේගයයි.
“මම මුලදි අකැමැති වුණත් දෙතුන් වරක්ම මට ආරාධනා ආවා. ඉතින් මම හිතුවා මන්ත්‍රීවරියක් වුණොත් ඒ අයට තවත් උදවු කරන්න පුළුවන් කියලා. පළාත් පාලන ඡන්දයේදී මේක බහු කොට්ඨාසයක්. 35ට අඩු මන්ත්‍රී ප්‍රතිශතය බලනකොට ඡන්දවලින් 20%ක් ඉහළින් මම හිටියා. නගර සභාවට සුළු ජාතින්ගෙන් කෙනෙක් තෝරද්දී ඒ අවස්ථාවත් මට ලැබුණා. ”
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පළාත් පාලනයේ ප්‍රධාන කාරියක් වුවද මහවලවත්ත ග්‍රාමයේ එක් කොටසක අපද්‍රව්‍ය එකතු කිරීම ආරම්භ වූයේ සත්ති උමා මහජන නියෝජිතවරියක වූ පසුවය. තවද තමන්ගේ නිවෙසට යෑමට නිසි මගක් නැති පවුල් දොළහකට කොන්ක්‍රීට් ඇතිරූ විධිමක් මාවතක් සැකැසීමට ද සත්ති උමාගේ දේශපාලන බලය ශක්තියක් වී තිබේ. ඉන්පසුව ඇගේ ඉලක්කය ගමේ දරුවන්ගේ ක්‍රීඩාපිටිය සංවර්ධනයයි.
“කාන්තාවන්ට දේශපාලනය කරනවා නම් අනිවාර්යෙන්ම තම සැමියාගේ සහාය අවශ්‍යයි. එහෙම බැලුවාම දරුවන් දෙදෙනකුගේ අම්මා කෙනෙකු වූ මට මගේ ස්වාමිපුරුෂයාගෙන් ලැබෙන්නේ ලොකු හයියක්. විපක්ෂයේ මන්ත්‍රීවරියක් වෙලත් මට ලැබෙන අවස්ථාව මම මගේ මිනිස්සු වෙනුවෙන් උපරිම භාවිත කරනවා. ඒක තමයි මගේ සතුට”






