දිළිඳුකම තුරන් කිරීම නව රජයේ ප්‍රධාන අරමුණක් බව “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ “ආරක්ෂිත සමාජයක් – සුපෝෂිත ජාතියක්” පරිච්ඡේදයේ සඳහන් කර ඇත. ඒ අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය එක්ව “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව, 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක් වෙන් කර ඇත්තේ දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීම සඳහාය. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කර හඳුනාගත් ඉදිකිරීම් සහ ඉදිකිරීම් නොවන සංවර්ධන ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, 2026 ජූලි 31 වන විට රුපියල් මිලියන 22,425ක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් ආරම්භ කර ඇත. ඉන් සියයට 53.2ක්, එනම් ව්‍යාපෘති 8,323ක්, ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඉතිරි සියයට 46.8ක්, එනම් ව්‍යාපෘති 7,323ක්, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වේ.
ඊට අදාළව, මේ වන විට පරිපාලන දිස්ත්‍රික් මට්ටමින් ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීම් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් පවතී.
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (16) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී, රුපියල් මිලියන 1,134.76ක ප්‍රතිපාදන මත ව්‍යාපෘති 938ක් ක්‍රියාත්මක වන බවත්, ඉන් ඉදිකිරීම් ව්‍යාපෘති 480ක් සහ ඉදිකිරීම් නොවන ව්‍යාපෘති 458ක් ක්‍රියාත්මක වන බවත් අනාවරණය විය. මෙම සංවර්ධන වැඩසටහන් මගින් සෘජු ප්‍රතිලාභීන් 49,201ක් සහ වක්‍ර ප්‍රතිලාභීන් 122,812ක් ආවරණය වන බව ද සඳහන් විය.
ගාල්ල දිස්ත්‍රික්කයට අදාළව අනුමත මුදල් සහ ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රධාන අංශ 6ක් ඔස්සේ බෙදා වෙන් කර ඇත.
- නිෂ්පාදන ආර්ථිකය: අනුමත මුදලින් සියයට 49.40ක් (ව්‍යාපෘතිවලින් සියයට 56.1ක්)
- ආහාර සුරක්ෂිතතාව: අනුමත මුදලින් සියයට 25.80ක් (ව්‍යාපෘතිවලින් සියයට 25.5ක්)
- සැපයුම් ජාල ප්‍රවේශය: අනුමත මුදලින් සියයට 15.10ක් (ව්‍යාපෘතිවලින් සියයට 11.2ක්)
- සමාජ පරිසරය: අනුමත මුදලින් සියයට 7.80ක් (ව්‍යාපෘතිවලින් සියයට 5.4ක්)
- මානව සම්පත් සංවර්ධනය: අනුමත මුදලින් සියයට 1.90ක් (ව්‍යාපෘතිවලින් සියයට 1.7ක්)
- රැකවරණය: අනුමත මුදලින් සියයට 0.01ක් (ව්‍යාපෘතිවලින් සියයට 0.1ක්)
එහිදී, දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි. සියලු ව්‍යාපෘති කඩිනම් කර වසර අවසන් වීමට ප්‍රථම ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය උපාලි පන්නිල මහතා උපදෙස් ලබා දුන් අතර, විශේෂයෙන් රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින්, යොදවන ප්‍රතිපාදන මගින් උපරිම ප්‍රතිලාභයක් ජනතාවට සැලසෙන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස ද අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ නිලධාරීන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ. චන්ද්‍රලාල් මහතා, අතිරේක ලේකම් අයේෂා කාරියවසම් මහත්මිය, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ රසාංග සූරියආරච්චි මහතා, ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.





