දිට්වා නිවාස ඉදිකිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් රජය මගින් සම්පාදනය කරන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
රජය මගින් රුපියල් ලක්ෂ පනහක මූල්‍යාධාරයක් නිවාස අහිමි වූවන් සඳහා ලබාදෙන අතර ඔවුන්ට නොමිලේ ඉඩමක් මෙන්ම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන බවද ඒ මහතා කීවේ ය.
ඒ අනුව ඔවුන්ට රුපියල් කෝටියක පමණ වටිනා වත්කම් හිමිවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 132ක් සදහා ඉඩම් ඔප්පු ප්රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (16) සිදු කෙරිණි.
කෘෂිකර්ම ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු සහ නව නිවාස ඉදිකිරීම සදහා වන රුපියල් ලක්ෂ 50ක මුදලේ පළමු වාරිකය වන රුපියල් ලක්ෂ 20ක චෙක්පත ප්රදානය කිරීම මෙහිදී සිදුවිය.
ආපදා නිසා නිවාස පූර්ණ හා අර්ධ හානියට ලක්වූ පන්විල, කුණ්ඩසාලේ, පාතදුම්බර, ගග ඉහළ කෝරළය, උඩපළාත සහ උඩුදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක විපතට පත්වූවන් සදහා ස්ථිර නිවාස ඉදිකිරීමට නියමිතය. එම විපතට පත්වූවන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දුනුහප්පාව ප්‍රදේශයේ රජයේ වැවිලි සංස්ථාවට අයත් අක්කර 30ක වපසරියකින් යුක්ත ඉඩමක පදිංචි කිරීමට මේ යටතේ කටයුතු යොදි තිබේ.
මෙහි ඉදිකිරීම් කඩිනම් කරන බවත් ඉදි කිරීමේ ප්‍රගතිය අනුව සෙසු වාරික දෙක ප්‍රතිලාභීන් සදහා මුදා හැරීමට රජය කටයුතු කරන බව ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා එහිදී ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඊ.එම්.බස්නායක, තනුර දිසානායක, නීතිඥ තුෂාරී ජයසිංහ, යන මහත්ම මහත්මීන් ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ නිලධාරීන් ද ප්‍රතිලාභීන් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර






