අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට සහ 2014.09.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කිරීම හිටපු සභාපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.





