මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය තවදුරටත් තීව්‍ර කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එන ප්‍රහාරය හේතුවෙන් බැරල් මිලියන 2.5ක ධාරිතාවකින් යුත් මෙම තෙල් නෞකාව තුළ ගින්නක් ද හටගෙන තිබෙන බවවිදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් මැදපෙරදිග කලාපය වෙත අතිරේක නාවික භටයින් 2,000ක් යෙදවීමට පියවර ගෙන තිබෙන අතර ගුවන් යානා ප්‍රවාහක නෞකා තුනක් සහ ගොඩබිම් මෙහෙයුම් සඳහා යොදාගන්නා නාවික කණ්ඩායම් දෙකක් ඉරානය ආශ්‍රිත කලාපය වෙත මේ වනවිට යොමු කරමින් පවතින බව ඇමරිකානු ආරක්ෂක නිලධාරියෙක් පෙන්වා දී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයට සැතපුම් 15ක් පමණ දුරින්, ඉරානයට සම්බන්ධ තෙල් නෞකා 20ක් පමණ මේ වන විට නැංඟුරම්ලා ඇති බව වාර්තා වෙයි.
දැඩි අමෙරිකානු සම්බාධක සහ නාවික අවහිරතා හේතුවෙන් මෙම නෞකා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ඇතැම් යාත්‍රාවල ආහාර, ඉන්ධන සහ පානීය ජල හිඟයක්ද මතු වී ඇති බව සඳහන්.
එලෙස නැංඟුරම්ලා ඇත්තේ චීනයට බොරතෙල් ප්‍රවාහනය කිරීමේ නිරතව සිටි නෞකා බවද කියවෙයි.
මෙවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ ඉරානයේ තෙල් වෙළෙඳාමට සහය දක්වන පාර්ශ්වයන්ට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කිරීම නිසා බව දැක්වෙයි.
යාත්‍රා තුළ සිටින නාවිකයන් ආහාර, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබාගැනීමට උත්සාහ කළද, අමෙරිකානු සම්බාධකවලට හසුවීමේ බිය නිසා ඇතැම් ශ්‍රී ලංකා සැපයුම්කරුවන් සේවා සැපයීමට මැළිවීමෙන් ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණපා සිටින බව වාර්තා වන අතර මෙම නෞකා ශ්‍රී ලංකාවේ ස්වෛරී මුහුදු සීමාවෙන් පිටත, එනම් එහි සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) අසල නැංඟුරම් ලා තිබීම නිසා, ශ්‍රී ලංකා බලධාරීන්ට ඒවා කෙරෙහි පවතින නීතිමය බලතල සීමිත වී ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් එම නෞකාවල ගමනාගමනය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව කියවෙයි.
මෙම තත්ත්වය ජාත්‍යන්තර සම්බාධක හමුවේ කලාපීය සාගර ප්‍රවාහනය සහ සැපයුම් ජාලය මුහුණ දී ඇති පුළුල් අර්බුදය මනාව පෙන්නුම් කරන අතරම අතරමං මානුෂීය අවශ්‍යතා පිළිබඳවද ලොව අවධානය යොමු විය යුතු අවස්ථාවක් ලෙසද මෙය දැක්විය හැකියි.





