ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ජාත්‍යන්තර තලයේ නව වගකීම් රැසක් පිරිනමා තිබේ.
ඒ අනුව එහි සභාපති රංග බණ්ඩාරනායකට ලෝක ජාත්‍යන්තර මාධ්‍ය සමාජයේ මධ්‍යම කමිටුවේ උපසභාපති ධුරය ද, ලේකම් මිතුන් ජයවර්ධනට ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ (IFJ) මාධ්‍යවේදීන් රහසිගතව නිරීක්ෂණයට ලක් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබලන විශේෂඥ කමිටු (Surveillance of Journalists Expert Group) සාමාජිකත්වයද, එහි සාමාජික සම්පත් සමරකෝන්ට ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකත්වය ද පිරිනමා ඇත.
ලොව පුරා මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, වෘත්තීය සංවර්ධනය, එකමුතුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරන World International Press Club හි නව වගකීම මගින් විවිධ රටවල මාධ්‍යවේදීන් අතර සහයෝගීතාව සහ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට රංග බණ්ඩාරනායකට අවස්ථාව සැලසෙනු ඇත.
IFJ හි Surveillance of Journalists Expert Group යනු මාධ්‍යවේදීන් රහසිගතව නිරීක්ෂණයට ලක් කිරීමේ සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරමින්, ඒවාට එරෙහිව කටයුතු කරන සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විශේෂඥ කණ්ඩායමකි.
මාධ්‍යවේදීන් නිරීක්ෂණයට ලක් කිරීමේ සිදුවීම් ප්‍රසිද්ධියට පත් කිරීම, මාධ්‍යවේදීන්ට තම දත්ත සහ සන්නිවේදනය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දීම සහ එවැනි නිරීක්ෂණ නීත්‍යානුකූල නොවන හා අසාධාරණ ලෙස සිදු කළ නොහැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජයන් සහ ජාත්‍යන්තර ආයතන සමඟ කටයුතු කිරීම මෙම කණ්ඩායමේ ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම කණ්ඩායම National Union of Journalists (NUJ), Britain and Ireland හි Tim Dawson මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වේ.
සම්පත් සමරකෝන් නියෝජනය කරන ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ (IFJ) Artificial Intelligence Working Group යනු
කෘත්‍රිම බුද්ධිය (AI) වේගයෙන් වෙනස් කරමින් පවතින මාධ්‍ය කර්මාන්තය තුළ, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, ආචාරධර්ම, රැකියා සුරක්ෂිතභාවය සහ සත්‍ය තොරතුරු සඳහා මහජනතාවට ඇති අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡාවක් සිදුවන වේදකාවකි.
කෘත්‍රිම බුද්ධිය මාධ්‍ය කර්මාන්තයට ඇති කරන බලපෑම, පසුගිය දශක කිහිපයේ සිදු වූ ඩිජිටල් විප්ලවයටත් වඩා ගැඹුරු වෙනසක් ඇති කළ හැකි බවත්
එහි ප්‍රතිඵලයක් ලෙස මාධ්‍යවේදීන්ගේ රැකියා, වෘත්තීය ක්‍රමවේද, මාධ්‍ය ආයතන සහ ප්රවෘත්ති නිෂ්පාදනයේ ස්වභාවය සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි බවත් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය පවසයි.
මෙවැනි තාක්ෂණික වෙනස්කම් හමුවේ මාධ්‍යවේදීන් සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වාදෙන එම සම්මේලනය වෘත්තීය සමිති හරහා මාධ්‍යවේදීන්ට තම අත්දැකීම් සහ අදහස් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියක් තුළ සාකච්ඡා කරමින්, අවශ්‍ය අවස්ථාවලදී රජයන් සහ සේවායෝජකයන් සමඟ සම්බන්ධ වී කටයුතු කළ හැකි බව අවධාරණය කරයි.
AI භාවිතයේදී මාධ්‍යවේදීන්ගේ වගකීම වන්නේ IFJ Global Charter of Ethics for Journalists හි සඳහන් වෘත්තීය ආචාරධර්මවලට අනුකූලව කටයුතු කිරීමත්, කරුණු නිවැරදිව ඉදිරිපත් කිරීමත්, මහජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීමත් බව එම සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.
මානෙල් ඩේවිඩ්





