වසර ගණනාවක් පුරා රාජ්ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේදී ගැටලු මතු වූ බවත්, ඉදිරියේදී අවිධිමත් ලෙස විශාල පිරිසක් බඳවා ගැනීම වෙනුවට අදාළ අමාත්යාංශවල පවතින පුරප්පාඩු අනුව බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බවත් කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට එක්වෙමිනි.
උදාහරණයක් ලෙස සෞඛ්ය අමාත්යාංශයේ උපාධිධාරීන් සඳහා පුරප්පාඩු රැසක් පැවතියද, එම පුරප්පාඩුවලට සරිලන පරිදි අයදුම්පත් ඉදිරිපත් වී නොමැති බව අමාත්යවරයා සඳහන් කළේය.
ගුරු සේවයේ ඇතැම් විෂයයන් සඳහා ද උපාධිධාරීන් අයදුම් කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් අමාත්යවරයා පැවසූ අතර මේ වන විට රාජ්ය අංශයේ පවතින ඇතැම් පුරප්පාඩු සඳහා උපාධිධාරීන් යොමු වීමේ අඩුවක් දක්නට ලැබෙන බවද අමාත්යවරයා පැවසීය.
උපාධිධාරීන්ට අමතරව අ.පො.ස. සාමාන්ය පෙළ සහ උසස් පෙළ සමත් තරුණ තරුණියන් සඳහා ද රැකියා අවස්ථා විවෘත වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, සියලු දෙනා රාජ්ය සේවයට බඳවා ගැනීම රජයේ අරමුණ නොවන බවත්, පවතින පුරප්පාඩු සහ අවශ්යතා අනුව බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්යවරයා පැහැදිලි කළේය.
රාජ්ය ආයතන ගණනාවක්ම වෘත්තීය පුහුණු වැඩසටහන් ක්රියාත්මක කරන අතර පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා නිර්මාණය වන්නේ නම් ඒ සඳහා අවශ්ය සහාය ලබා දීමටත් තරුණ තරුණියන්ට අවශ්ය වෘත්තීය පුහුණුව ලබා දීමටත් රජය කටයුතු කරන බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.





