ජාතික රූපවාහිනියේ පැවැති කරට කර නම් දේශපාලන සංවාදයේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර බලවත් අපහසුතාවයට පත් වීම සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්ව තිබේ.
ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් මතු වූ කතාබහකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත කියා සිටියේ වත්මන් ජනපති මැතිවරණ වේදිකාවේදී හිටපු ජනපතිවරුන් ඩොලර් මිලියන ගණන් වටිනා වාහන භාවිතා කරන බවත් තමන් ජනපති වූ වහාම ඒවා පිටරටට අපනයනය කර මුදල් උපයන බවත් පැවසූ බවයි.
මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර එහිදී දැඩිව කියා සිටියේ, එවැන්නක් ජනපතිවරයා කියා නැති බව සහ හැකිනම් ඔප්පු කරන ලෙසයි.
එවිට දොලවත්ත මන්ත්‍රීවරයා සිය දුරකතනයෙන් ජනපතිවරයාගේ ප්‍රකාශය උපුටා දැක්වීය. ලක්මාලි මන්ත්‍රීවරිය දැඩි ලෙස පසුබැස කියා සිටියේ ජනපතිවරයා එසේ කීවේ නම් එය හරි බවත්, එවැන්නක් කීවේදැයි තමන්ටද දැනගැනීමට අවශ්‍ය බැවින් අවබෝධ කළ බවත් ය.
ප්‍රතිවාද නම් කණ්ඩායමක් හරහා ජාතික ජනබලවේගය වෙත එක් වූ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය නීතිඥවරියකි. ප්‍රතිවාද කණ්ඩායම ඉතා දැඩිව ලෝක බැංකු මැදිහත්වීමට සහ නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වයට එවක විරුද්ධ වූ කණ්ඩායමක් ලෙස පෙනී සිටිනු ලැබීය.
කෙසේ වෙතත් ජාතික ජනබලවේගය විසින් ලක්මාලි හේමචන්ද්‍ර ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ආ අතර සෑම සියලු ප්‍රධාන මාධ්‍යවල බොහෝ විට රජය නියෝජනය කරන්නේ ඇයයි.
ඇගේ මැදිහත්වීමේ අවුල්සහගත තැන් කොතෙක් තිබුණද රජය දිගින් දිගටම තමන්ගේ ප්‍රකාශිකාව ලෙස ඇය යොදාගැනීම ගැන රජයට හිතවත් පාර්ශ්ව පවා මේ වන විට ප්‍රශ්න කරමින් සිටිති.