කුලියාපිටිය නගර සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද (18) පැවැත්වීමට නියමිත සභා රැස්වීමට පෙර ඊයේ පස්වරුවේ විපක්ෂ කණ්ඩායම් විසින් කුලියාපිටියේම හෝටලයක පැවැත්වූ සාකච්ඡාවකදී මහ ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කුලියාපිටිය නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්ව සිට ඇති අතර හිටපු නගරාධිපතිවරුන්, ආසන සංවිධායකවරුන් සහ හිටපු ඇමැතිවරුන්ද එහි රැස්ව සිටි බව පැවසේ. අනුර යාපා, අකිල විරාජ්, නලින් බණ්ඩාර ඇතුළු පිරිසක්ද එහි සිට ඇත.
කෙසේ වෙතත්, බුද්ධික මහේෂ් නම් සභිකයා තමන්ටද සභාපති ධුරය ඉල්ලා සිටි බැවින් උණුසුමක් ඇතිව තිබේ. එහිදී ඔහු ඇතුළු පිරිස තමන්ට පහර දුන් බවයි සභාපති අපේක්ෂක ගාමිණී කරුණාරත්න පවසා තිබුණේ.
පසුගිය මැතිවරණයේදී කුලියාපිටිය නගර සභාවේ වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගනු ලැබුවේ, ජාතික ජනබලවේගය වුවද (6) අනෙකුත් පක්ෂවල සභික එකතුව ඊට වැඩි විය. එජාපය ආසන 3ක්ද සමගි ජනබලවේගය ආසන 5ක්ද දිනාගත් අතර ඔවුන් කුලියාපිටිය නගර සභාවේ බලය පිහිටුවීමට වෑයම් කරති. කෙසේ වෙතත් අද දිනයේ මෙය තීරණය වේ.