එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ.මෙයට පෙර එය 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ.
කලාපයේ රටවල් ගණනාවක මෙලෙස තීරු බදු අනුපාතය අඩු කර ඇති අතර ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකෙරෙන තීරුබදු ප්‍රතිශතය වෙනස්කර නොමැති අතර, එය 25% සීමාවේ එලෙසින්ම පවතියි.
මේ අතර 50%ක දැවැන්ත තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ බ්‍රසීලයේ ආනයන මත පනවන බද්ද 10%ක් දක්වා අඩුකර තිබීමද විශේෂත්වයක්ය.
එමෙන්ම අමෙරිකාවේ ප්‍රධානම මිතුරු රාජ්‍යයක් වන ඊශ්‍රායලයෙන් අයකරන තීරු බදු අනුපාතයද 15%ක් දක්වා පහත හෙළා ඇත. මෙම පහත දැමූ තීරුබදු අනුපාත අතර ඉහළම ප්‍රතිශතය 41%ක් වන අතර, එය සිරියාව වෙනුවෙන් දක්වා තිබේ.
එමෙන්ම ලාඕසයෙන් හා මියන්මාරයෙන් 40% බැගින් අය කරන බවද ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් ඇති අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසා ඇත්තේ මේ පිළිබඳව හදවතින්ම සතුටු වෙන බවයි.
ඔහුගේ ප්‍රකාශය පහතින්,
හදවතින්ම සතුටු වෙමි.
ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත.
ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.
මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි.
හර්ෂ ද සිල්වා