සැකකරුවන්ට සැකකරුවන් ලෙස පමණක් සලකන ලෙසත්, පෞද්ගලික තීන්දු තීරණ ගැනීමෙන් වළකින ලෙසත් පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, අමාත්‍යාංශ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා සවස පැවැති සූම් සාකච්ඡාවකදී පොලිස් නිලධාරීන්ට එම උපදෙස දී ඇති බවත් පවතින නීති රාමුව තුළ පමණක් කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇති බව සඳහන්.
පොලිස් භාරයේ සිටියදී තරුණයන් දෙදෙනකු මියයෑමේ සිද්ධීන් හේතුවෙන් මහජනතාව අතර දැඩි විරෝධයක් ඇතිවීම සහ ජීවිත දෙකක් අහිමි වීමට තුඩුදුන් අඩුපාඩු එළිදරව් වීමත් සමඟ මෙම සාකච්ඡාව කැඳවා ඇති අතර සැකකරුවන්ගේ අයිතිවාසිකම් තේරුම් ගන්නා ලෙසත්, අත්අඩංගුවේ පසුවන තැනැත්තා වැරදිකරුවකු ලෙස පූර්ව නිගමනයට එළඹීමෙන් වළකින ලෙසත් පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.
එසේම අත්අඩංගුවට ගැනීම් කිරීමට හෝ නඩු පැවරීමට අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා හෝ තමා විසින් කිසිදු ඉලක්කයක් ලබා දී නොමැති බව පොලිස්පතිවරයා පොලිසියේ ජ්‍යෙෂ්ඨ කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දී ඇත.
පොලීසිය නීත්‍යානුකූලව කටයුතු කළ යුතු අතර පහරදීම් හෝ වධහිංසා පැමිණවීම් මගින් පාපෝච්චාරණ ලබාගැනීමට උත්සාහ නොකළ යුතු බවත් අවධාරණය කර තිබෙන අතර එවැනි පාපෝච්චාරණයක් අධිකරණය හමුවේ වලංගු නොවන බව ද පවසා තිබේ.
සැකකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වන පරිදි ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ නිසි වාර්තා පවත්වාගෙන යෑමට පොලිසිය අපොහොසත් වූ සිදුවීම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද (presentation) මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.





