පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (09) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසන්නේ මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටින බවයි.
මෙම විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම පසුගිය 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
මේ අතර හෙට දිනයේදී දෙමව්පියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ඇතුල් වීමට අවසර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අවධාරණය කරයි.
දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස තවදුරටත් උපදෙස් ලබා දෙන අතර ප්‍රථමයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එය පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 10.45ට අවසන් වීමට නියමිතයි.
අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වේ.
විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි..
විශේෂයෙන් ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය උපදෙස් දෙයි.






