/ Apr 20, 2025

බීමතින් රිය පදවන්න පෙර නැවත හිතන්න පොළඹවන කතාවක්! – හෙද මතක වත 02

කලින් සටහනේ ලියපු විදියටම මම හදිසි ප්‍රතිකාර ඒකකයේ අවුරුදු දහයකට ආසන්න කාලයක් සේවය කළා. මේ කාලයෙන් අවසන් අවුරුදු කිහිපය මගේ පෞද්ගලික ජීවිතය සහ රාජකාරි ජීවිතය සමබර කරගැනීම බොහොම අපහසුවෙන් තමා සිදු වුණේ. කොවිඩ් වසංගතය නිසා ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසාදැමීම මගේ පෞද්ගලික ජීවිතයට බොහොම බරපතළ විදියට බලපෑවා. ඒ එක්කම ඇතිවෙච්ච රටේ ආර්ථික අස්ථාවරභාවය අනිත් හැමදෙනාටම වගේ අපේ ජීවිතයටත් බොහොම නරක කාලයක් උදා කළා. මේ නිසා විදේශගතවීම කියන තීරණයට එන්න සිදු වුණා.

නමුත් විදේශගතවීම කියන්නේ මගේ පු‍ංචි කාලේ එක සිහිනයක්. පිටරටක වාසය කරනවට වඩා මට වුවමනා උනේ ලෝකේ රටවල් දකින්න. ලෝකේ එක එක රටවල සාහිත්‍ය පරිශීලනය කිරීමත් මේ උවමනාව ඇතිවෙන්න එක හේතුවක්. පොතපතින් අත්දැකපු ලෝකේ ඇත්තටම දකින්න මම ආශා කළා. රුසියාවේ පීටර්බර්ග් නගරය, ප්‍රංශයේ මිදිවතු, ලුවර් කෞතුකාගාරය, ජපානයේ ටෝකියෝ නගරේ කබුකි රඟහල්, කියෝතෝ වගේ නගර කවදාකහරි මගේ සංචාරක ගමනාන්ත කරගන්න මම හීන දැක්කා. අද මගේ ඒ හීනේ යම්තාක් දුරකට ඉටුවෙලා. එංගලන්තයේ ගම්බද ප්‍රදේශවලදි මට ජේන් අයර්, වදරින් හයිට්ස් වල කැතරින්, හිත්ක්ලීෆ් වගේ අය මතකෙට එනවා. ලංඩන් නගරේ පාරවල්වල යද්දී ෂර්ලොක් හෝම්ස් කතා කියවද්දි මැවුන ලෝකය දකිනවා. ඒ නිසා විදේශ ගතවෙන්න ගත්ත තීරණය ගැන මම කණගාටු වෙන්නෙත් නෑ.

අද මම ලියන්න හිතුවේ මහාමාර්ග අනතුරු සහ එයින් සෞඛ්‍යයට සිදුවන බලපෑම ගැන. රිය අනතුරු කියන්නේ ලංකාවට වගේම ලංකාවේ ජීවත්වෙන මිනිස්සුන්ටත් අරුමයක් නෙවෙයි. නමුත් මේ අනතුරු නිසා වසරකට අහිමිවන ජීවිත ගණන ඉතාම විශාලයි. සදාකාලික දුබලතා ඇති වීම, දේපළ හානිවලට අමතරව රටේ ඵලදායීතාවයට මේ මාර්ග අනතුරු නිසා ඍජු බලපෑමක් ඇතිවෙනවා. ඒ වගේම රටේ සෞඛ්‍ය පිරිවැයින් සැලකිය යුතු ප්‍රතිශතයක් මේ සඳහා වැයවෙනවා. මේ සියල්ල රටේ දියුණුවට බලපානවා.  යම් පුද්ගලයෙක් රිය අනතුරකට ලක්වීම ඒ මුලු පවුලටම ආර්ථික, සමාජයීය සහ මානසික වශයෙන් ලොකු පීඩනයක් ඇති කරන දෙයක්. මගේ හෙද ජීවිතයේ මාර්ග අනතුරුවලට ලක්වීම නිසා කුඩා සීරීම් තුවාල ලබපු රෝගීන්ගේ සිට රෝහලට රැගෙන එනකොටත් මියගොස් සිටි රෝගීන් දක්වා විශාල පරාසයක රෝගීන් මම දැක තියෙනවා. මේ අනතුරුවලින් බොහොමයක් යතුරු පැදි සහ ත්‍රීරෝද රථ අනතුරු. නමුත් පදිකයින්ට සිදුවන අනතුරුත් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

මෙවැනි පදික වේදිකාවේ සිදු වුණ අනතුරක් නිසා වයස අවුරුදු දහහතක පමණ යුවතියක් එක වරක් මම සේවය කරපු හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙන ආවා. අනතුර සිදුකරපු වාහනය පලා ගොස් තිබුණා. පසුව අත්අඩංගුවට ගත්ත රියදුරා බීමත්ව හිටපු බවට තමා දැනගන්න ලැබුණේ. මේ දරුවා උපකාරක පන්තියකට සහභාගි වෙලා නැවත නිවසට එද්දී මේ අනතුරට ලක්වෙලා තිබුණේ. බස් රියෙන් බැහැල පාරේ අනිත් පැත්තේ තියෙන තමන්ගේ නිවසට  යන්න පාර මාරුවෙන්න සූදානමින් පදික වේදිකාවේ ඇය රැඳී සිටිය බව අනතුර දුටු අය පැවසුවා. කිසිම බාහිර තුවාලයක් ඇයට තිබුණේ නැහැ. නළලේ වම් පැත්තේ රතුවීමක් හැර. එහෙත් මොළයේ අභ්‍යන්තර අනතුරක් සිදුවූ රෝගියෙකුට ඇතිවන ලක්ෂණ ඇය පෙන්නුම් කළා. ඒ නිසා ඇයව ඉක්මනින් කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කරන්න සිදු වුණා. පසුව ඇයව ජාතික රෝහලට මාරුකර යැව්වා. ඒ ගිලන් රථයේ රෝගියාව රැගෙන යන්න සිදුවුණෙත් මට. පසුව ඇය ජීවිතය හැරගිය බවත් ඇගේ අවයව රෝගීන් කිහිප දෙනෙකුට බද්ධ කිරිම කළ බවත් දැන ගත්තා. මේ අනතුර නිසා ඒ දෙමව්පියන් විඳි වේදනාව අපි හැම කෙනෙකුටම හොඳින්ම දැනුණා. අනතුර සිදු කළ රියදුරාට මොන විදියේ දඬුවමක් ලැබුණත් ඒ දෙමවුපියන්ගේ වේදනාව කිසි දවසක නිමා වෙන්නේ නෑ. ඒ නිසායී මේ විදියේ අනතුරු සිදුවීම වලක්වා ගතයුතු වන්නේ. මේ මම ලියුවේ ඒ විදියේ එක අනතුරක් විතරයි. නමුත් මේ විදියේ අත්දැකීම් දිනපතා සෞඛ්‍ය සේවකයන්ට අත්දකින්න සිදුවෙනවා.

ලංකාවේ බොහොමයක් මාර්ග අනතුරුවලට හේතුව වෙන්නේ අපරික්ෂාරී රිය ධාවනය, බීමත්කම, අධික වේගය නිසා වාහනය පාලනයෙන් ගිලිහීම, නිසි පුහුණුව සහ දැනුම නොමැතිව රිය ධාවනය වගේ හේතු. මීට අමතරව මාර්ග පද්ධතියේ දුර්වලතා සහ වාහන නිසි ප්‍රමිතියකට යටත්ව නඩත්තු නොකිරීමත් මේ අනතුරුවලට තවත් හේතුවක්. මාර්ග භාවිතාවේදි විනයක් නොමැතිවීම ලංකාවේ තියෙන ලොකුම ගැටලුවක්. රියදුරන් පමණක් නෙවෙයි, පදිකයන්ටත් බොහෝ අවස්ථාවල ඒ විනය නැහැ. නිසි ක්‍රමවේදයක් නොමැතිව රියදුරු බලපත්‍රය ලබාදීම මාර්ග අනතුරුවලට කෙලින්ම අතවැනීමක්.

මේ ලිපිය ලියන දවස වෙනකොට මම එක්සත් රාජධානියේ අවුරුදු තුනක් ජීවත්වෙලා තියෙනවා. එයිනුත් අවුරුදු දෙකක් බොහොම කාර්‍යබහුල ලන්ඩන් නගරයේ. මේ කාලය පුරාවටම මම දැක තියෙන්නේ මාර්ග අනතුරු දෙකයි. ඒවාත් ඉතාම සුලු අනතුරු. මේ විදියට අනතුරු අඩු වීමට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එංගලන්තයේ රියදුරු බලපත්‍රය ලබාගැනීම ලංකාවේ වගේ සරල දෙයක් නෙවෙයි. න්‍යායික පරීක්ෂණය සමත් උනත් ප්‍රායෝගික පරීක්ෂණය සමත්වීම බොහොම අපහසුයි. කාලයක් තිස්සේ ලංකාවේ රිය පදවපු කෙනෙක් උනත් සමහර වෙලාවට මේ රටේ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්නේ දෙවෙනි තුන්වෙනි වතාවට. රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය නියමිත ක්‍රියාපටිපාටියට අනුව ම සිදුකිරීම නිසා හොඳින් පුහුණුව ලබපු විනීත රියදුරකුට පමණයි මේ පරීක්ෂණය සමත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මම මේ දිනවල මේ ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් වෙන නිසා මම මේ ගැන හොඳින්ම දන්නවා.

ඊලඟට ප්‍රධාන හේතුව මාර්ග නීතිරීති සහ වේග සීමා. කිසිම කෙනෙකුට ලංකාවේ වගේ නීතියෙන් ගැලවෙන්න හැකියාවක් නෑ. ඕනෑම රියදුරෙක් මේ නීතියට යටත්. හොඳ මාර්ග පද්ධතියක් පැවතීමත් තවත් හේතුවක්. මාර්ගයේ ධාවනය සඳහා ඕනෑම වාහනයක් රජයේ අනුමත ගරාජයකින් වාර්ෂික  තත්ත්ව වාර්තාවක් ලබගත යුතු වෙනවා. මේ වාර්තාව නොමැති වාහනයක් මාර්ගයේ ධාවනය කිරීමට හැකියාවක් නෑ වගේම එහෙම ධාවනය කලොත් ඒක ලොකු වරදක්.

මේ ලිපිය අවසානයේ මට කියන්න අවශ්‍ය, මේ අනතුරු බොහොමයක් වළක්වා ගතහැකි අනතුරු බව. බීමතින් රිය පදවන්න කලින් දෙවරක් සිතිය යුතුයි. ඔබ අතින් අනතුරක් සිදුණොත් එය ඔබට පමණක් නෙවෙයි බලපාන්නේ. ඒ වගේම ඔබට මුලු ජීවිත කාලයේම විඳවීමක් ඉතුරු කරනවා. කිසි දවසක නැවත වාහනයක් පදවන්න හැකියාව නැතිවෙන්න පවා පුලුවන්. ඔබ අතින් සිදුවූ ආනතුරකට නීතියෙන් දඬුවමක් නොලැබුණත් ඔබේ හෘද සාක්ෂියෙන් ඔබට කිසි දවසක නිදහස් වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා වාහනයේ වේගය පාලනය කරගත නොහැකි මට්ටමට වැඩි කිරීමට පෙර නැවත සිතා බැලිය යුතුමයි. නිසි පුහුණුව හා අධ්‍යාපනය ලබාගෙන රියදුරු බලපත්‍රය ලබාගත යුතුයි. එය ඔබ ඔබටම කරගන්නා ආයෝජනයක්. ඔබේ වාහනය මාර්ගයේ ධාවනය ස‍ඳහා නිසි ප්‍රමිතියෙන් යුතුද යන්න දන්නේ ඔබ නිසා, වාහනය මාර්ගයට ගන්නට පෙර දෙවරක් සිතීම ඔබට බාර කටයුත්තක්!

මම,

සජීවනී කරුණාරත්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top