මුලතිව් කිව් සැණින් අපට මතක් වන්නේ දශක තුනක් තිස්සේ ඇසුණු යුද ගින්නේ රුදුරු හඬයි. ලෝකයම මුලතිව් දෙස බැලුවේ සිවිල් යුද්ධයේ තීරණාත්මක අවසානය සනිටුහන් වූ බිම ලෙස වුවත්, ඒ දරුණු සටන් ඇවිලුණු නන්දිකඩාල් කලපුව අසබඩම මනුෂ්‍යත්වයේ සහ අද්භූත හාස්කම්වල අපූර්ව කතාවක් සැඟවී තිබෙනවා. ඒ තමයි වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල. මුලතිව් නගරයේ සිට කිලෝමීටර් 9 කටත් වඩා අඩු දුරකින් පිහිටි මේ පින්බිම, අද උතුරු වන්නිකරයේ සංස්කෘතික අනන්‍යතාවය ලොවටම කියාපාන ජීවමාන ස්මාරකයක්.
යුද්ධයෙන් පස්සේ උදා වූ සාමකාමී වටපිටාව ඇතුළේ, වට්ටාපලෙයි කෝවිල හුදෙක් ආගමික ස්ථානයක් විතරක් නෙවෙයි; එය උතුරත් දකුණත් යා කරන ආධ්‍යාත්මික පාලමක්. කලපු දියවරින් නැගෙන සිසිල් සුළඟත් සමඟ මේ භූමියේ පවතින නිහඬ ගම්භීරත්වය අත්විඳින ඕනෑම අයෙකුට, වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන කන්නගි දේවියගේ නින්නාදය අදටත් ඇසෙනවා වැනි හැඟීමක් දැනෙනවා නිසැකයි.
වට්ටාපලෙයි කෝවිලේ මුල් අඩිතාලම වැටෙන්නේ දෙමළ සාහිත්‍යයේ එන පංච මහා වීර කාව්‍යයන්ගෙන් එකක් වන ‘සිලප්පදිකාරම්’ වංශකතාවෙන්. තම සැමියා වූ කෝවලන්ට පාණ්ඩ්‍ය රජු අතින් සිදු වූ අසාධාරණ මරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා මදුරෙයි නගරයම ගිනිබත් කළ කන්නගි, ඉන්පසු කේරළය හරහා ශ්‍රී ලංකාවට පැමිණි බවයි ජනප්රවාදයේ එන්නේ.
ඇය ලංකාව පුරා ස්ථාන 20 ක ලැගුම් ගෙන තිබෙනවා. ඉන් 10 වැනි ස්ථානය ලෙස වට්ටාපලෙයි තෝරාගත් නිසා මෙය ‘පත්තාම් පලෙයි’ (දසවන කූඩාරම) ලෙස හැඳින්වුණු අතර, කාලයාගේ ඇවෑමෙන් එය ‘වට්ටාපලෙයි’ බවට පත් වුණා. මදුරෙයි පුරය ගිනිබත් කළ ඒ කෝපාවිෂ්ට ගැහැනිය, මේ වට්ටාපලෙයි බිමේදී සියලු ද්වේෂය අතහැර මාතෘත්වයෙන් පිරි දයාබර දෙවඟනක බවට පත් වූ බව බැතිමතුන් අදටත් විශ්වාස කරනවා.
කන්නගි වන්දනාව ලාංකීය ජන සමාජයේ මුල් බැසගන්නට ප්‍රධානතම හේතුව වූයේ අනුරාධපුර යුගයේ රජ කළ පළමුවන ගජබාහු රජුයි. දකුණු ඉන්දියාවෙන් පිරිසක් බේරාගෙන එන ගමනේදී කන්නගි දේවියගේ රන් පා සලඹ සහ දේව ප්‍රතිමා රැගෙන ආ රජු, ඇයව පත්තිනි දෙයියෝ ලෙස සිංහල බෞද්ධ ජනතාව අතරත් ප්‍රචලිත කළා. මේ නිසා එදා සිටම හින්දු බැතිමතුන් අතර ‘කන්නගි අම්මාන්’ ලෙසත්, සිංහලයන් අතර ‘පත්තිනි දේවිය’ ලෙසත් ඇය භක්තියට පාත්‍ර වුණා. වන්නි රජවරුන්ගේ සිට සිංහල රජවරුන් දක්වා මේ කෝවිලට දැක්වූ රාජකීය ගෞරවය නිසාම, මෙය ජාතීන් දෙකක් යා කරන සංස්කෘතික මධ්‍යස්ථානයක් වුණා.

වට්ටාපලෙයි කෝවිල ලෝක පූජිත වීමට බලපෑ ප්‍රධානතම හාස්කම වන්නේ මුහුදු ජලයෙන් පහන් දැල්වීමයි. වාර්ෂිකව පැවැත්වෙන වෛකාසි විශාඛා පූජාවට සමගාමීව, මුලතිව් මුහුදු වෙරළෙන් ගෙන එන ජලය තෙල් වෙනුවට යොදාගෙන පහන් දැල්වීම අදටත් සිදු වෙනවා.
පොල්තෙල් නැති වෙලාවක කන්නගි දේවියගේ අණින් එඬේර කොල්ලන් මුහුදු ජලයෙන් පහන් දැල්වූ බවත්, අදටත් ඒ එඬේර පරම්පරාවේම උරුමකරුවන් කෝවිලේ තේවා කටයුතු කරන බවත් පැවසෙනවා. මේ ගැන 1964 සහ 1970 වසරවලදී විද්‍යාත්මක පරීක්ෂණ පවා සිදු කෙරුණා. එහිදී යම් රසායනික ප්‍රතික්‍රියාවක් ගැන තර්ක මතු වුණත්, කිසිදු විද්‍යාඥයෙකුට මෙය සියයට සියයක් පැහැදිලි කරන්නට හැකි වුණේ නැහැ. අවසානයේ ඔවුන් පවා මේ විශ්මය දේව භක්තියටම භාර කර පසුබට වුණා.
යටත් විජිත සමයේදීත් මේ කෝවිලේ බලය ගැන අපූරු කතා අසන්නට ලැබෙනවා. කෝවිලේ හාස්කම්වලට සමච්චල් කළ නෙවිල්’ නම් පෘතුගීසි නිලධාරියෙකුට කෝවිල් භූමියේ තිබූ පන්නිච්චෛ ගසකින් වෙඩි උණ්ඩ මෙන් ගෙඩි පතිත වී ඔහු අශ්වයාගෙන් බිම ඇද වැටුණු බවත්, පසුව ඔහු දේවියට සමාව අයැද සිටි බවත් පැවසෙනවා. අදටත් කෝවිල් භූමියේ ඇති ඒ පුජනීය වෘක්ෂය කිසිදා පර නොවන මල් හටගන්නා ආශ්චර්යමත් ගසක් ලෙසයි සැලකෙන්නේ.වසර 26 ක සිවිල් යුද්ධය වට්ටාපලෙයි කෝවිලටත් දරුණු ලෙස බලපෑවා. 1992 දී එල්ල වූ ප්‍රහාරවලින් බැතිමතුන් මියගිය අතර, 2009 අවසන් සටනේදී කෝවිල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වුණා.

එක් කාලයක එල්.ටී.ටී.ඊ. සංවිධානය තම ගුවන් යානා මගින් කෝවිලට මල් වැස්සවූ අතර, අද වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම සම්ප්රදායම ඉදිරියට ගෙන යනවා. මෙය කාලයාගේ ඇවෑමෙන් සිදු වූ එක්තරා ආකාරයක දේශපාලනික සහ සංස්කෘතික පරිවර්තනයක්. යුද්ධයෙන් පසු හමුදාවේත්, බැතිමතුන්ගේත් දායකත්වයෙන් කෝවිල යළි ඉදිවුණේ මුලතිව් ජනතාවගේ බිඳුණු සිත් යළි එක් කිරීමේ බලාපොරොත්තුවත් සමඟයි.
අද වන විට කතරගම යන පාද යාත්‍රාකරුවන්ගේ ප්‍රධාන නවාතැනක් වන්නේ මේ කෝවිලයි. දකුණේ සිංහල බැතිමතුන් වන්නියේ දෙමළ සහෝදරයන් සමඟ එක්ව පොංගල් බත් පිසින දසුන සහජීවනයේ සැබෑ අරුත පෙන්වනවා. කෙසේ වෙතත්, උත්සව සමයේ පවතින දැඩි හමුදා රැකවල් සහ ඇතැම් සීමා පැනවීම් ජනතාව අතර යම් නොසන්සුන්තාවක් ඇති කළ අවස්ථාත් නැතුවාම නොවෙයි. ආගමික නිදහස සහ ආරක්ෂාව අතර සමබරතාවයක් පවත්වා ගැනීම සාමකාමී අනාගතයකට අත්‍යවශ්‍ය කරුණක්.
වට්ටාපලෙයි යන නාමයේ අරුත ‘නොසිඳෙන ගංගාව’ යන්නයි. ඒ වගේම මේ ජනතාවගේ භක්තියත් යුද්ධය, විනාශය හෝ වෙනත් බාධක හමුවේ කිසිදා සිඳී නොයන ගංගාවක් මෙන් ගලා යනවා. මුහුදු ජලයෙන් දැල්වෙන ඒ පහන, හුදු හාස්කමක් පමණක් නොව, එය ශ්‍රී ලාංකේය ජනතාවගේ යුක්තිය සහ සහජීවනය වෙනුවෙන් දැල්වෙන නොනිවෙන පහනක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි. එය මුළු මහත් ශ්‍රී ලංකාවේම පොදු සංස්කෘතික උරුමයේ අග්‍රගන්‍ය සලකුණකි.
ප්‍රදීප් රාජපක්ෂ





