/ Sep 19, 2026

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ප්‍රජා ශක්ති අගයයි!

රටේ සෑම ක්ෂේත්‍රයකම පරිවර්තනීය වෙනසක් සිදු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත් ඒ සඳහා සමාජ, ආර්ථික, සංස්කෘතික මෙන්ම දේශපාලනික වශයෙන්ද පුළුල් වෙනසක් සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පැවසීය.

රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයද එම පරිවර්තනීය වෙනසට සූදානම් වීමේ අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සමඟ පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති හමුවකදීය.

වර්තමාන රජයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කාර්යභාරය, දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් මෙන්ම යෝජිත නව රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හා අධීක්ෂණ පනත සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව රැකබලා ගැනීම සහ ඔවුන්ට වඩාත් යහපත් ජීවිතයක් උදාකර දීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩසටහන් පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

අවිධිමත් ක්ෂේත්‍රයන්හි නිරත මිලියන 5.6කට පමණ වන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් ක්‍රම ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

අස්වැසුම ප්‍රතිලාභ ලබන ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදා සවිබලගැන්වීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සවිබලගැන්වීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම, රුපියල් බිලියන 25ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කරන රජයේ ප්‍රධානතම දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන වන “ප්‍රජා ශක්ති” ව්‍යාපාරයේ අරමුණු, ක්‍රියාකාරකම් සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය.

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හා අධීක්ෂණය පිළිබඳ නව පනත එම ක්‍රියාවලියේ මූලික පියවරක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය නොවන සංවිධානවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් පනතේ අහිතකර වගන්ති ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අනුකමිටුවක් පත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලය දැනටමත් කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් රටටත්, ජනතාවටත්, සෑම ක්ෂේත්‍රයකම උන්නතියටත් හේතුවන ආකාරයෙන් නව පනත ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බවද ඔහු අවධාරණය කළේය.

වර්තමාන රජය රටේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සිය ඇගයීම පළ කළේය.

දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලියට සහ රටේ සංවර්ධන ක්‍රියාවලියට බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. විවිධ අභියෝග හමුවේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා සහ රජය දරන උත්සාහය සම්බන්ධයෙන්ද ඔහු සිය ඇගයීම පළ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න විතානගේ මහතා සහ අධ්‍යක්ෂ ලසඳමාලා මුහන්දිරම් මහත්මියද සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top