2025 අයවැය තුළින් පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1,000කට අධික ප්‍රමාණයක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.
විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මක වර්ධනය උදෙසා රුපියල් බිලියන 135ක් මේ වන විටත් වෙන් කර අවසන් බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000සිට රුපියල් 6,500ක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කර ඇති අතර මේ සඳහා මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4,600කි.
මෙම දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව සඳහන්.
පෙරපාසල් ළමුන්ගේ පෝෂණ අවස්ථා වෙනුවෙන් උදෑසන ආහාරය සැපයීම සඳහා එක් ආහාර වේලක් වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් 60ක මුදල් ප්‍රමාණය රුපියල් 100 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,000කි.
තෝරාගත් මුල් ළමාවිය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80ක් වෙන් කර ඇත. පෙරපාසල් ගුරුවරු වෙනුවෙන් ලබා දෙන දීමනාව මෙම වසරේ ජුනි මාසයේ සිට තවත් රුපියල් 1,000කින් වැඩි කිරීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 100කි.