ලේඛක දීපචෙල්වන්ගේ කෘති දෙකක් පමණක් නිදහස් කිරීමට කළ නිර්දේශය සම්බන්ධයෙන් සාහිත්‍ය අනුමණ්ඩලයේ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ලංකා ටයිම්ස් වෙත වාර්තාවේ.
ශ්‍රී ලංකා කලා මණ්ඩලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශ නිර්දේශ මත ගත්තේ යැයි කියන මෙම තීන්දුවට අනුමණ්ඩලයේ සාමාජිකයන්ගේ ඒකමතියක් නොමැතිවීම ඊට හේතු වී ඇත.
මේ සම්බන්ධයෙන් ලංකා ටයිම්ස් වෙත අදහස් දැක් වූ සාහිත්‍ය අනුමණ්ඩල සාමාජිකයකු පැවසුවේ මෙම කෘති රඳවාගැනීමට ගත් මුග්ධ තීන්දුව නිසා සාහිත්‍ය අනුමණ්ඩලයට නිකරුණේ බැනුම් ඇසීමට සිදුව ඇති බවයි.
මේ තත්ත්වය මත තවදුරටත් අනුමණ්ඩලයේ ක්‍රියාකිරීම ගැන එහි සාමාජිකයන් අතර යම් සංවාදයක් නිර්මාණය වී ඇතැයි ද ඔහු කීය.
දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීමට විරෝධය පළ කරමින් මීට පෙර එහි සාමාජිකා කල්පනා ඇම්බ්‍රෝස් ද ඉල්ලා අස්විය.
ලේඛක දීපචෙල්වන්ගේ කෘති දෙකක් පමණක් නිදහස් කිරීමට නිර්දේශ ලැබී ඇතැයි අදාළ පොත් ආනයනය කළ සමාගමට හා ලේඛකයාට ලිඛිතව දැනුම් දෙනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසිනි.
කෙසේ වෙතත් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියා සඳහා උත්සාහ දරන අන්තර්ගතයන් අඩංගු බව හේතුවෙන් ‘Bayanagaravaathi’ සහ ‘Cynide’ යන කෘති නිදහස් නොකරන බව එම ලිපියේ දක්වා තිබිණි.
දසුන් වීරසිංහ





