/ Oct 01, 2026

ස්පා වටලන්න යන්නෙපා: පොලිසියෙන් මාධ්‍යට ඉල්ලීමක්

ස්පා ආයතන වැටලීම්වලට පොලිසියේ නිලධාරියකු කතා කළ‍හොත් ඒවාට සම්බන්ධ නොවන්නැයි තමා ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා පවසයි.

ඔහු මෙම ඉල්ලීම කළේ කාන්තාවන් සහ දරුවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය: මාධ්‍ය වාර්තාකරණයේ වගකීම මැයෙන් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැති සාකච්ඡාවක දෙසුමක් පවත්වමිනි.

ස්පා වැනි ආයතන වැටලීම්වල වීඩියෝ දර්ශන යූ ටියුබ් නාලිකාවලට ලැබෙන මූලාශ්‍රය කුමක්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නය හමුවේ ඔහු මෙම අදහස පළ කළේය.

එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීම පැහැදිලිවම නීතිවිරෝධී ක්‍රියාවක් යැයි ද එවැනි වැටලීම්වලට සම්බන්ධවීමට පොලිසියෙන් ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලාසිටින්නේ යැයි ද වුට්ලර් මහතා අවධාරණය කළේය.

එසේ වාර්තා වූ සිදුවීම්වලට සම්බන්ධ පොලිස් නිලධාරින්ට එරෙහිව විනය පියවර ගෙන ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

දකුණු ආසියානු මාධ්‍ය කාන්තාවෝ සහ පරිවර්තන් සංවිධානය එක්ව සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයේදී කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබද වාර්තාකරණයේ ආචාරධාර්මික මාධ්‍ය භාවිතය මැයෙන් වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය හා දේශපාලන අංශ ප‍්‍රධානී දීපාංජලී අබේවර්ධනත්, අනුරාධපුර ළමා අපයෝජන සිද්ධියට අදාළ මාධ්‍ය ආවරණය ගැන පරිවර්තන් සංවිධානයේ නීතිඥ රදිකා ගුණරත්නත් දෙසුම් පැවැත්වූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙසුම කළේ වාර්තාකරණයේදී අවධානය යොමුකළ යුතු නෛතික හා සදාචාරාත්මක පැතිකඩ සම්බන්ධයෙනි.

මානෙල් ඩේවිඩ් 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top