/ May 27, 2026

කපිලගේ අයිෆෝන් එකේ ලොක් එක කඩන්න FBI සහය පතයි!

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්දද සිල්වාගේ නිවෙසේ දී සැක කටයුතු ලෙස මියගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ ඇපල් වර්ගයේ ජංගම දූරකතනයේ අගුල විවෘත කිරීමට මෙරට කිසිදු ආයතනයකට මෙතෙක් නොහැකි වී ඇති බැවින් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම බුද්ධි තොරතුරු සහ ආරක්ෂක ආයතනයක් වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (එෆ් බී අයි) සහාය ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (26) පැවසීය.

මේ අනුව අදාළ දුරකතනයේ අගුල විවෘත කිරීමට සහාය ඉල්ලා එෆ්.බී.අයි හරහා ඇපල් සමාගම වෙත ඊමේල් පණිවිඩ යවා ඇති බවත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එම කටයුතු සිදුකර ඇපල් සමාගම දැනුම් දෙන ස්ථානයකදී හෝ රටක දී අගුල කඩිනමින් විවෘත කිරීමට
කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් කීය.

මේ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ ලේ සාම්පල අධිකරණ නිලධාරිවරයාට හා ගෙල වැලලා ගැනීමට ගත් ආධාරකය, නිවසේ ඩී.වී.ආර් යන්ත්‍රය ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේ ය.

මරණකරු ගෙල වැලලා ගත්තේ යැයි කියන නිවසේ තිබියදී සොයාගත් ලේ සාම්පල, ගෙල බැඳි පටිය. සිසිටීවී දර්ශන පටිගත වන ඩී.වි.ආර් යන්ත්‍රය ඇතුළු නඩු භාණ්ඩ පිළිබඳව පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවෙසේ කාමරයක ගෙල වැලලාගෙන සැක කටයුතු අන්දමින් මියගොස් සිටි බව කියන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා සෙසු සාක්ෂිකරුවන් කඩිනමින් කැඳවන ලෙස උපදෙස් දෙමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක් වූ පොලිසිය අදාළ සාක්ෂිකරුවන් වන කපිල චන්ද්‍රසේනගේ නඩුවට පෙනී සිටි ජනාධිපති නීතීඥවරයාට කනිෂ්ඨ නීතිඥවරයාට අධිකරණය සාක්ෂි දෙන ලෙසට නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එහිදී පොලිසිය මහේස්ත්‍රාත්වරයා ඇමතු නීතිය ඉදිරියේ කවුරුත් එක සමාන නීතීඥවරුන් පෙන්වා දුන්නේය. දෙදෙනාට නොතීසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.

අධිකරණය හමුවේදී කාටවත් වෙනත් නීතියක් ක්‍රියාත්මක වෙන්න බැහැ. මේ නඩුවේ සාක්ෂිකාරයන් 18 දෙනෙක් කැඳෙව්වේ ඒ 18 දෙනාටම අධිකරණය මගින් නොතීසි නිකුත් කරලා නැහැ. සාක්ෂිකරුවන් අධිකරණයට ගේන්න බැරිනම් ඒ බව ලිඛිතව අධිකරණයට දැනුම් දී ඉල්ලීමක් කරන්න. සාක්ෂිකාරයෝ දෙන්නෙකුට විතරක් විශේෂයක් කරන්න අධිකරණය බැඳිලා නැහැ. ඇයි ඒ අය එන්න බෑ කියනවා ද? හේතුව බලලා අධිකරණයට කියන්න. සාක්ෂිකාරයන් කැඳවන්න පොලිසියට බලය තියෙනවා නේද? පොලිසියේ ඔය කියන සාක්ෂිකාරයන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තියෙනව නේද?

පොලිසිය – එම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා ස්වාමිනි.
මහේස්ත්‍රාත්වරයා: හරි. එහෙම නම් ප්‍රශ්නයක් නෑ. අනෙක් සාක්ෂිකාරයන් කැඳවපු විදිහටම සාක්ෂිකාරයන් අධිකරණයට කැඳවන්න. කවුරුවත් විශේෂ නැහැ.

යනුවෙන් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂි විමසීම ලබන 29 වැනිදාට කල් තැබීය.

  • රෝෂන් තුෂාර – ලංකාදීප

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top