ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (28) තීන්දු කළාය.
පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.
මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කියා සිටියේ, පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය විසින් ඉදිරිපත්කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුණු බවයි.
මේ අතර මෙම පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගේ සහෝදරිය වන දිල්රුක්ෂි සමරරත්න නමැත්තියද සාක්ෂි ලබා දී තිබුණාය.