ඩෙංගු වසංගත තත්ත්වය මර්දනය කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් සිදු කර තිබේ.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ වර්තමාන ඩෙංගු තත්ත්වය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බවයි.
එම නිසා මෙය බරපතල කාරණයක් වන අතර සෞඛ්‍ය පද්ධතිය තමන්ගේ උපරිම ධාරිතාවට පත්වෙමින් තිබෙන බව ඔහු කියා සිටියි.
කාර්යය මණ්ඩලයේ මෙන්ම ඖෂධ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පවතින බවයි වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරන්නේ.
“2017 වසරේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දැක්කා. ඒ හා සමාන මට්ටමකට, ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් පසුගිය මැයි මාසය වනවිට රට පුරා වාර්තා වුණ සමස්ත රෝගීන් සංඛ්‍යාවට වඩා ජුනි මාසයේදී වාර්තාවෙලා තියෙනවා. මැයි මාසයේදී රෝගීන් 8600ක්. නමුත් ජුනි මාසයේදී පළවෙනි සති දෙක තුළ පමණක් රෝගීන් නව දහසකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තාවෙලා තියෙනවා. මේකෙන්ම පේනවා මේ තුළ තියෙන අනතුර මොකක්ද කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුද්දේ, මේ කාලයට සාපේක්ෂව සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 200කින් වැඩිවෙලා තියෙනවා. වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ, බස්නාහිර පළාතෙන්.
මේකේ තියෙන බරපතළම කාරණාව තමයි, ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම තවමත් උපරිම මට්ටමට ළඟාවී නොමැති වුණත්, සෞඛ්‍ය පද්ධතිය තමන්ගේ උපරිම ධාරිතාවට පත්වෙමින් තිබෙනවා. කාර්යය මණ්ඩලයේ, ඖෂධ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා. මේක ජාතික හදිසි තත්ත්වයක් සේ දකින්න ඕනේ. මින් ඉදිරියට මේ තත්ත්වය වර්ධනය වුණොත්, මේ සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි වනවා. ඒ නිසා තැනින් තැන ඩෙංගු මර්දනය සඳහා ව්‍යාපෘති සිද්ධ කරනවා වෙනුවට අපි විශ්වාස කරනවා. සියලු පාර්ශ්ව එකතැනකට ගෙනල්ලා, ජාතික මට්ටමේ කමිටුවක්, එහෙම නැත්නම් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරලා, ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් ඉලක්ක ගත ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත් කරලා ඒ සැලැස්ම බිම් මට්ටම දක්වාම ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙන්න අවශ්‍යයි.”






