2026 වසරේදී දිවයින පුරා පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත රුපියල් මිලියන 2,500ක වටිනාකමින් යුත් ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක ප්‍රධාන සමාරම්භක උත්සව අද (14) පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, ප්‍රධාන සමාරම්භක උත්සවයක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නගේ ප්‍රධානත්වයෙන් පුත්තලම, මදුරන්කුලියේදී අනෙක් සමාරම්භක උත්සවය පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, අඟුණකොළපැලැස්සේදීත් පැවැත්වේ.
“පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ පළාත් පාලන බල ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත පමණක් යැපීමෙන් තොරව ආර්ථික වශයෙන් ස්වාධීන ආයතන බවට පත් කිරීම සඳහා නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම සහ පවතින ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමයි.
ඒ සඳහා 2026 වසරේදී පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ප්‍රාග්ධන ප්‍රතිපාදන ඉහළ නැංවීමට වත්මන් රජය තීරණය කර ඇත. ඒ අනුව මෙම වසරේ අයවැය මගින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හරහා ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන ලෙස රුපියල් මිලියන 2,500ක මුදලක් වෙන් කර තිබේ.






