/ Nov 05, 2026

මහා භාරතයේ කර්ණන් මෙන් පක්ෂපාතීත්වයද? ධර්මය වෙනුවෙන් සටන් කිරීමද?

මහාභාරතයේ කර්ණන්ගේ චරිතය මෙන්, NPP ආණ්ඩුවට සහාය දැක්වූ අය ද අද සිතා බැලිය යුතු තත්ත්වයක් උද්ගත වී තිබේද? කර්ණන් තම මිත්‍රත්වය කෙරෙහි දැක්වූ පක්ෂපාතීත්වය හේතුවෙන් දුර්යෝධනගේ පාර්ශ්වයේ සිට සටන් කළේය. තම තීරණය විනාශයෙන් අවසන් විය හැකි බව පෙනෙන්නට තිබුණ ද ඔහු යුද පිටියෙන් ඉවත් වූයේ නැත.

නමුත් මෙහිදී අප සිතා බැලිය යුත්තේ අප පක්ෂපාතී වන්නේ කාටද යන්න නොව, අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද යන්නයි! අප පෙනී සිටින්නේ ජනතාවගේ පාර්ශ්වයේද, නැතහොත් බලයේ පාර්ශ්වයේද යන්න අප සිතා බැලිය යුතුය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, PSTA, රාජ්‍ය නොවන සංවිධාන (NGO) පිළිබඳ නීති කෙටුම්පත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නීති කෙටුම්පත, ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත මලෛයහ අධිකාරිය ඇතුළු තවත් බොහෝ නීතිමය යෝජනා සම්බන්ධයෙන් නිදහස් පුරවැසියන් වන අප සියලුදෙනාම ප්‍රශ්න කළ යුතුය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ සඳහන් කර ඇති සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස, වධහිංසාවලින් නිදහස් වීමේ අයිතිය, සමානාත්මතාවයේ අයිතිය, කුලය, ආගම සහ ජාතිය පදනම් කරගත් වෙනස්කම්වලට භාජනය නොවීමේ අයිතිය, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් නිදහස් වීමේ අයිතිය, භාෂණයේ, රැස්වීමේ, සංගම් පිහිටුවීමේ සහ ගමනාගමනයේ නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අධිකරණය හමුවේ සහන ලබාගැනීමේ අයිතිය වැනි මූලික අයිතිවාසිකම්, සාමය පවත්වාගෙන යාම සහ ත්‍රස්තවාදය තුරන් කිරීම යන මුවාවෙන් ජනතාව විවෘත සිරගෙයකට ඇද දැමීමේ අවදානමක් තවදුරටත් පවතී.

රජයේ ප්‍රතිපත්ති සහ නීතිමය යෝජනා අප අනුමත කළත්, විරුද්ධ වුවත්, ඒවා විවේචනාත්මකව විමසා බැලීම ප්‍රජාතන්ත්‍රවාදයේ එක් අංගයකි.

රජයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම රජයට එරෙහිව කරන ද්‍රෝහිකමක්ද? සැබෑ පක්ෂපාතී පුද්ගලයකු කළ යුත්තේ තමන් අයත් කණ්ඩායම නිවැරදි මඟට යොමු කිරීමට කටයුතු කිරීම මිස, එම කණ්ඩායම කරන සියල්ලටම අන්ධ ලෙස එකඟ වීම නොවේ.

මූලික අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ රජයේ ඇතැම් නීතිමය යෝජනා, දැනටමත් ක්‍රියාත්මක වන අයිතිවාසිකම්වලට පවා තර්ජනයක් විය හැකි බවට කනස්සල්ලක් මතුව තිබේ.

රජයේ ක්‍රියාමාර්ග විමසා බැලීම, ප්‍රශ්න කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැඟීම ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංග වේ.

දේශපාලනික පක්ෂපාතීත්වය යන නාමයෙන් සෑම දෙයක්ම සාධාරණීකරණය කළ නොහැකිය. අප යම් පක්ෂයකට සහාය දැක්වූ පමණින් එම පක්ෂයේ සෑම ක්‍රියාමාර්ගයක්ම අනුමත කළ යුතු බවට කිසිදු අනිවාර්යතාවක් ද නැත.

අයිතිවාසිකම් උල්ලංඝනය වන විට ඒවාට අන්ධ ලෙස සහාය දැක්වීම අනාගතයේදී අපටම හානිදායක විය හැකිය. නිහඬව සිටිනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නඟමු!

කර්ණන් යනු මහා වීරයෙකි; ඔහු විශිෂ්ට දානපතියෙක් ද විය. එහෙත් ඔහුගේ වීරත්වයටත් දානපතිභාවයටත් ඔහු පෙනී සිටි පාර්ශ්වයේ සදාචාරාත්මක උල්ලංඝනයන් සාධාරණීකරණය කළ නොහැකිය. ඔහු සහාය දැක්වූ පාර්ශ්වයේ ක්‍රියා ධර්මයට පටහැණි වූ බව ද ප්‍රතික්ෂේප කළ නොහැකිය.

පුද්ගලයකුගේ පෞද්ගලික යහපත් ගුණාංගවලට වඩා ඔහු සහාය දක්වන ක්‍රියාවල සදාචාරාත්මකභාවය සහ යුක්තිසහගතභාවය වැදගත් වේ.

ධර්මය යනු එක් පුද්ගලයකු කෙරෙහි දක්වන පක්ෂපාතීත්වය පමණක් නොවේ; එය ඉක්මවා ගිය යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ අධිෂ්ඨානය ද වේ!

අද අප පෙනී සිටින්නේ කුමන පාර්ශ්වයේද?

බලයේ පාර්ශ්වයේද? නැතහොත් යුක්තියේ (ජනතාවගේ) පාර්ශ්වයේද?

ජීවරත්නම් සුරේෂ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top