/ Aug 20, 2026

නීතිඥ සංගමය 22 ගැන පහදන්න අද පාර්ලිමේන්තුවට එන්න බැහැ කියලා!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද (200 දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර එම සහභාගීත්වය සිදුකළ නොහැකි බව දැනුම් දී තිබේ.

අදාළ ලිපිය මඟින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුම්වත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බව ද එම ලිපියේ සඳහන්ව ඇති අතර එය ජාතික වැදගත්කමක් ඇති බැවින් මේ පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවයක් ඇති කරගනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවද නීතිඥ සංගමය දැනුම්දී ඇත.

එවැනි අවස්ථාවක් ලබාදීම තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සහ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින ගැටලු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි තම විශ්වාස බවද සඳහන් කර තිබේ.‍

කෙසේ වෙතත් අද දින පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්ථාවරය සැලකිල්ලට ගැනීමේදී, මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නොමැති බවත් තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට රජයට දැනට කිසිදු උනන්දුවක් නොමැති බවත් පෙනී යනු ඇතැයි ද නීතිඥ සංගමය පවසා ඇත.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය දැනටමත් සිය දැඩි විරෝධය පළ කර තිබුණද මෙම කරුණු පැහැදිලි කිරීමේ සැසිය ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව තම ස්ථාවරය අපක්ෂපාතීව සලකා බැලීමට ඉතා ප්‍රයෝජනවත් වන්නට ඉඩ තිබුණු බව තම විශ්වාසය වන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායකවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top