රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා එම නඩුකරය සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය.
මෙම නඩුකරය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත්ය.
එම අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර තිබෙන්නේ වාහන සඳහා බව විමර්ශකයින් ප්‍රකාශ කර ඇති බවයි.
එහෙත් තම සේවාදායකයාට වාහන ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් බවත් ඊට අදාළව බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ පියවර ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරියට භාරදුන් ජනාධිපති නීතිඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යලි සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස නියම කළේය.
එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරියට නියම කළේය.
2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගි වෙමින් රුපියල් ලක්ෂ 166කට වැඩි රජයේ මුදල් ප්‍රමාණයක් පෞද්ගලික සංචාරයක් සඳහා වැය කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට සැකපිට හිටපු ජනාධිපති රනිල් විකමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතුකළ සමන් ඒකනායක යන මහත්වරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.






