ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
ගුවන් අනතුර ගුවන් නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් සිදුවු බවට පසුගියදා අමාත්‍ය බිමල් රත්නායක පැවසූ බවත් ගුවන් අනතුර සම්බන්ධයෙන් කමිටු වාර්තාව නිකුත් නොවී තිබිය දී එවැන්නක් ප්‍රකාශ කිරීම සුදුසු දැයි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියහ.
එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.
“ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව ආවා. නමුත් ගුවන් අනතුර සම්බන්ධයෙන් වූ වාර්තාව තාම ආවේ නෑ. ඒකට යම් දින කිහිපයක් ගතවේවි. ගුවන් යානාවේ වාර්තාවෙන් හෙළිදරව් වෙන දේ තමා බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වේ.
අනතුර සම්බන්ධයෙන් මොකද්ද වෙන්න පුළුවන්, කාගේද අඩුපාඩුව ගැන සමස්ත අනතුර ගැන වාර්තාවෙන් තමා අපිට කරුණු කියන්න වෙන්නේ. වාර්තාව ලැබුණට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ අදාළ බලධාරියෙක් කරුණු ඉදිරිපත් කරයි. කමිටු වාර්තාව තවම ලැබිලා නෑ.”