/ Jul 09, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: තත්ත්වය පාලනය කළ නිලධාරියාට මරණ තර්ජන!

පසුගිය 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම අතරතුර දොරටුව බිඳගෙන රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීම සඳහා වෙඩිතැබූ බන්ධනාගාර නිලධාරියාට කළහකාරීව හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන සිදුකර ඇතැයි වාර්තා වෙයි.

“තෝව අහුවුණොත් මරනවා. එළියෙදී අහුවෙන්න එපා, මරනවා” යනුවෙන් එම නිලධාරියාට මරණ තර්ජන කර ඇති බව සඳහන්.

ඒ අනුව එම නිලධාරියාට ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට බන්ධනාගාර දොපර්තමේන්තුව විසින් අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව වාර්තා වන අතර
ඔහු එදින හටගත් හදිසි අවස්ථාවේ සේවයට වාර්තාකර ඇත්තේ ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බවද සඳහන්.

මේ අතර ගැටුමෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සිදුව ඇත්තේ හිසට මොට ආයුධවලින් පහරදීම් හේතුවෙන් ඇතිවූ හිස්කබල පිපිරීම් වැනි මරණීය තුවාල සහ මොළය අභ්‍යන්තරයට සිදුවූ ලේ ගැලීම් හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

එමෙන්ම ඔවුන්ගේ හිසට සහ ශරීරයට විශාල තුවාල ප්‍රමාණයක් සිදුව ඇති බවද සඳහන්.

පහර කෑමෙන් පසු මුණින් අතට වැටුණු පසු පොලු මුගුරුවලින් විශාල පහරදීම් ප්‍රමාණයක් සිදුව ඇති බවද අනාවරණය වී තිබේ.

මරණයට පත්වූ රැඳවියන් අතරින් අනන්‍යතාව හඳුනාගත් 17 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ මුල් දිනයේ මිය ගිය දෙදෙනා පහර දීම් හේතුවෙන් ඇතිවූ මරණීය තුවාල නිසා එම මරණ සිදුව ඇති බවත් සෙසු පුද්ගලයින්ගේ මරණ වෙඩි වැදීම හේතුවෙන් සිදුව ඇති බවත්ය.

මීගමුව බන්ධනාගාරයේ ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාට ඔහු මේ වනවිට රඳවා සිටින බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවද වාර්තා වෙයි.

මෙම බන්ධනාගාර ගැටුම කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා සමග ඔහුට හිතවත් තව 13 ක් එක්ව සිදුකර ඇති බවද හෙළිදරව් වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top