/ Apr 20, 2025

කූරියර් කළේ ආලේපන ද? නීති විරෝධී දෙයක් ද?; පියුමිගේ බිස්නස් ගැන අලුත් සැකයක්

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කර තිබේ.

පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම මෝසම කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා අද දින අධිකරණයේ පෙනී සිටියේය.

තම සේවාදායිකාවගෙන් ආලේපන මිලදී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ඒ අනුව තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිවිරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා මහතා කියා සිටියේ පියුමි හංසමාලි නමැත්තිය රුපියල් 30,000කට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබෙන බව සඳහන් කොට ඇති බවය.

2023 වසරේ නොවැම්බර් මස 22 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් අතර එම ජාවාරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණයවී ඇතැයි ද කියා සිටියේය.

පියුමි හංසමාලි නමැත්තියට අයත් සුඛෝපභෝගී මෝටර් රථය මේ වනවිටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දුනි.

එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සිදුවී ඇති බවත් කියා සිටියේය.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පුද්ගලයින්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට බලය තිබෙන බව තමා පිළිගන්නා බවය.

මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට වගබලා ගන්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top