/ Aug 14, 2026

ත්‍රිකුණාමලය ධීවර ජනතාවගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම්!

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ක්ෂේත්‍රයට අදාළ ගැටලු සහ ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (13) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම රැස්වීමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එමෙන්ම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරයා, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන්, ධීවර සංගම් නියෝජිතයන්, ධීවර කර්මාන්තයට සම්බන්ධ සංගම් නියෝජිතයන්, නාවික හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

රැස්වීම ආරම්භයේදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සෘජුව හඳුනාගෙන, අදාළ ආයතනවල සම්බන්ධීකරණය තුළින් ඒවාට ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික විසඳුම් ලබාදීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවයි.

ධීවර ජනතාවගේ දෛනික ජීවනෝපාය සමඟ සෘජුව සම්බන්ධ ගැටලු දීර්ඝ කාලයක් විසඳුමකින් තොරව පැවතීමට ඉඩ නොදී, ඒවායේ ප්‍රගතිය විධිමත්ව අධීක්ෂණය කරමින් අදාළ ආයතන හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී පසුගිය දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කරන ලදී.

විශේෂයෙන් එරක්කන්ඩි කලපුව ආශ්‍රිතව ධීවර හා සංචාරක කටයුතු හේතුවෙන් ඇති විය හැකි පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම, තෙන්නමරවාඩි සහ ලංකාපටුන ප්‍රදේශ සඳහා නව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීම, ධීවර වරාය ප්‍රදේශවල ධීවර යාත්‍රා ලියාපදිංචි කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

කොඩ්බේ ධීවර වරායේ Buffer Zone ප්‍රදේශය නිදහස් කිරීම සහ වරාය පරිශ්‍රයේ ඇති ඉවත් කරන ලද යාත්‍රා 10ක් ඉවත් කිරීම ඇතුළු ගැටලු සඳහා ද විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

කුඩා එන්ජින් භාවිත කරන ධීවර ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීමක් ද රැස්වීමේදී විශේෂ අවධානයට ලක් විය. අධික සුළං පවතින කාලවලදී ඔරු භාවිත කරමින් මුහුදට යාමේදී ඇති වන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, වරාය ප්‍රදේශය තුළ නිශ්චිත සීමාවක් ඇතුළත කුඩා එන්ජින් භාවිත කරමින් ධීවර කටයුතු සිදු කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ නාවික හමුදාව සමඟ තවදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට තීරණය කරන ලදී.

එමෙන්ම පුල්මුඩේ ප්‍රදේශයේ ධීවර ජනතාවගේ මඩි දැල් ධීවර කටයුතු, නිශ්චිත දුර සීමාවක් තුළ කුඩා යාත්‍රා භාවිත කිරීමට අවසර ලබාදීම සහ බහුදින ධීවර යාත්‍රා භාවිත කරන ධීවරයන් මුහුණ දෙන පරිපාලන ගැටලු ඇතුළු කරුණු පිළිබඳව ද විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

ධීවර ජනතාවට තම ලිපි ලේඛන කටයුතු සහ පරිපාලන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා විවිධ ආයතන වෙත යාමට සිදුවීම හේතුවෙන් ඇති වන අපහසුතා සැලකිල්ලට ගනිමින්, සියලු සේවා එකම ස්ථානයකින් ලබාගත හැකි ඒකාබද්ධ සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා සකස් කර ඇති සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, ධීවර ගොඩබෑමේ ස්ථාන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, ඉක්බාල් නගර් ධීවර ගොඩබෑමේ ස්ථානයේ ඉඩම් ගැටලුව, කොඩ්බේ ධීවර වරායේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු සහ NAQDA ආයතනයේ ධීවර පරීක්ෂකවරුන් හා භෞතික සම්පත් හිඟය ඇතුළු කරුණු රැසක් ද රැස්වීමේදී ඉදිරිපත් විය.

සංචාරක කලාපවල ධීවර යාත්‍රා නැංගුරම් දැමීම හේතුවෙන් ඇති වන ගැටලු සහ සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය අතර පවතින ගැටුම් හඳුනාගෙන, ක්ෂේත්‍ර දෙකේම අවශ්‍යතා හා ප්‍රතිලාභ ආරක්ෂා වන පරිදි විසඳුම් ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේ, ධීවර ජනතාවගේ ජීවනෝපාය සමඟ සෘජුව සම්බන්ධ කිසිදු ගැටලුවක් නිසි අවධානයකින් තොරව අතහැර නොදැමිය යුතු බවයි. සෑම ගැටලුවක් සඳහාම වගකිව යුතු ආයතන හඳුනාගෙන, ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය ධීවර ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමකට පමණක් සීමා නොවිය යුතු බවත්, පාරිසරික ආරක්ෂාව, වරාය කළමනාකරණය, නීතිවිරෝධී ධීවර කටයුතු පාලනය, සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තය අතර සම්බන්ධීකරණය ඇතුළු සියලු අංශ සැලකිල්ලට ගනිමින් එය ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ධීවර ජනතාවට තම පරිපාලන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීම සඳහා ඒකාබද්ධ සේවා, අවශ්‍ය යටිතල පහසුකම් සහ අදාළ නිලධාරීන්ගේ සේවාවන් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවගේ ගැටලු විසඳීම සඳහා ධීවර අමාත්‍යාංශය පමණක් නොව, වරාය අධිකාරිය, නාවික හමුදාව, පොලිසිය, NAQDA, NARA, ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව ඇතුළු සියලු අදාළ ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද රැස්වීමේදී අවධාරණය කෙරිණි.

ධීවර ජනතාව විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, එම ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඉදිරි දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී යළි සමාලෝචනය කිරීමට ද තීරණය කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top