පාරිභෝගික අධිකාරිය මඟින් නියම කරන ලද උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීමටත් සඟවා තැබීමත් කටයුතු කරන වෙළඳුන්ට විරුද්ධව නීතිමය කටයුතු සිදු කරන බව එම අධිකාරිය පවසයි.
පාලන මිල අනුව කීරි සම්බා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 260ක් වන බැවින් එම මිලට අලෙවි කළ හැකි සැපයුම්කරුවන්ගෙන් පමණක් සහල් මිලදී ගන්නා ලෙසත් එලෙස ලබාගන්නා සහල් තොග වලට අදාළව භාණ්ඩ සැපයුම්කරුවන් විසින් ලබාදෙන බිල්පත තමන් සන්තකයේ තබා ගැනීම අනිවාර්ය බවත් පාරිභෝගික අධිකාරිය වෙළඳුන් වෙත දැනුම් දෙයි.
එමෙන්ම සැපයුම්කරුවන් සහල් ලබාදීමේදි වැඩිපුර මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ සම්බන්ධව වන තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකතන අංකය වන 1977 වෙත කාර්යාලයීය වේලාවන් තුළ ලබාදීමට කටයුතු කරන ලෙසද වෙළෙඳුන් දැනුවත් කරන බවද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
සහල් වැඩි මිලට අලෙවිකරණ තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරහිව නඩු පැවරීමෙන් පසුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයක්-ලක්ෂ පහක් අතර දඩමුදලක් හෝ මාස හයක සිර දඩුවම් නියම කිරීමටත් හෝ එම දෙකම නියම කිරීමටත්, පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහත්, ලක්ෂ පනහත් අතර දඩ මුදලක් නියම කිරීමටත්, සහල් සගවතැබීම සම්බන්ධව වරදකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඩුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පවසයි.
තවද, දෙවනවර සිදුකරන වරදකදී එම අවම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ නියම කිරීමටත්, වසරක් දක්වා සිර දඩුවමක් ලබාදීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බවත් එම අධිකාරිය සිය නිවේදනයේ දක්වා තිබේ.