වත්මන් රජය IMF රූකඩයක් බවට පත්වී බහුතර ජනතාවක් ලබා දුන් ජනවරම අමු අමුවේ උල්ලංඝනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.
මාලිමාව ආණ්ඩුව බලයට පත්වීමට පෙර “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” කියන ප්‍රතිපත්ති මාලාව මගින් රට නව බලාපොරොත්තු රැසක් ලබා දුන් බවත් අවසානයේ දී පසුගිය රජය ක්‍රියාත්මක කළ ජනතා පීඩනකාරී වැඩපිළිවෙලම ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.
පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මෙසේ ද කීය.
“ඔබ කිව්වා අලුත් ණය තිරසරභාවය වෙනුවෙන් ගිවිසුමකට යනවා කියලා. ඒ කතාව ඔබට ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද ඔබේ ප්‍රතිපත්ති මාලාවේ ඒ බව සඳහන් වෙනවා. නමුත් අවසානයේ සිදු වුණේ මොකක්ද? අලුත් ගිවිසුම පැත්තකින් තියලා පහුගිය රජය නිර්මාණය කළ රටේ ජනතාවට අතිශය පීඩනකාරී, අතිශය අසහනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.
සාමාන්‍ය ජනතාවගේ හිස මත බර පටවලා, වෛරී සහගත ලෙස, ජනතාවගෙන් පළිගන්න ස්වරූපයේ IMF එකඟතාවයකට මේ රජය ප්‍රවේශ වෙලා තියෙනවා.
කොටින්ම කියනවා නම් IMF කියන කියන පදයට නටන IMF රූකඩයක් බවට පත් වුණ රජයක් අද නිර්මාණය වෙලා. සෑම අංශයක් දෙස බැලුවම අපට පේනවා IMF කියන ඕන දේකට “එහෙයි ස්වාමීනී!” කියන රජයක් මේක. එය ජනවරම අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.”