දින කිහිපයකට උඩ දී, මගේ දරුවන්ගේ නැනී වන යුලියා වසිලියෙව්නාගේ ගිණුම් පියවීමේ කටයුතු සඳහා මම ඇය ව මගේ කන්තෝරු කාමරයේ දි මුණ ගැසුණෙමි.
මම ඈ ඇමතිමි.
“ඉඳගන්න යුලියා… අපි ගණන් ටික හදමු. ඔයාට කොච්චර සල්ලි උවමනා වුණත් ලැජ්ජා වෙලා කවදාවත් ඔයා ම සල්ලි ඉල්ලන්නේ නැහැනේ… හොඳයි, අපි මාසෙකට රූබල් තිහකට එකඟ වෙලා උන්නේ“
යුලියා පිළිවදන් දුනි.
“හතළිහයි“
එවිට මම මෙසේ පැවසීමි. “නැහැ, තිහයි… මං ගාව වාර්තා තියෙනවා. මං හැමදාම නැනීලාට ගෙව්වේ රූබල් තිහයි“
“හරි එහෙනම්“
“ඔයා කොච්චර මාස ගණනක් වැඩ කළා ද?“ මම විමිසීමි.
“දෙමාසයයි, දවස් පහයි“ ඈ කීවාය.
“හරි, අපි ඒක මාස දෙකයි කියලා ගණන් ගමු. එතකොට රූබල් හැටයි. ඔයා කෝල්යාට පාඩම් වැඩ නොකරපු ඉරිදා දවස් නවය අඩු කරන්න වෙනවා, ඔයා එයා එක්ක නිකං කාලය ගත කළා විතරයිනේ. ඊට පස්සේ ඔයා දවස් තුනක් නිවාඩුත් අරගෙන තියෙනවා“
යුලියා වසිලියෙව්නාගේ වුවන සුදුමැලි වී, දසැඟිලි ඇඟලුම් හා පොරබදින්නට වුවත් ඈ නොවේ මැසිවිලි නගන්නට වූයේ.
මම දිගට ම කතා කරමින් පසුවීමි.
“ඒ දවස් තුනට රූබල් 12ක් කපමු. කෝල්යා දවස් හතරක් ලෙඩ වුණා, එතකොට ඔයා පාඩම් වැඩ බැලුවේ ෆාර්යාගේ විතරයි, ඒ කියන්නේ අපි තවත් රූබල් 7ක් කපනවා. ඊට පස්සේ දවස් තුනක් ඔයා දත් කැක්කුමෙන් හිටපු නිසා මගේ බිරිඳ ඔයාට හවස් වරුවේ විතරක් උගන්වන්න අවසර දුන්නා, එතකොට තවත් රූබල් 12ක් කැපෙනවා. එතකොට දැන් අපට ඉතිරි රූබල් හතළිස් එකයි. හරිනේ?“
යුලියා වසිලියෙව්නාගේ දෙනෙත් කඳුළින් බර වී, ඇගේ කම්මුල් වෙව්ලන්නට වුවත් ඈ තවදුරටත් නිහඬභාවයේ රැඳුණා ය.
මම තවදුරටත් ගණනයේ යෙදුණෙමි.
“අලුත් අවුරුද්දට පෙර, ඔයා කෝප්පෙකුයි පිඟානකුයි කැඩුවා, ඒකට අපි රූබල් 6ක් කපමු. ඊට පස්සේ ඔයාගේ නොසැලකිල්ල නිසා කෝල්යා ගහකට නැගලා ජැකට් එක ඉරා ගත්තා, ඒ කියන්නේ තවත් රූබල් 10ක් අඩු වෙනවා. මෙහෙකාරිය සපත්තුවක් හොරකම් කළා, මේ සේරම පරිස්සමින් බලා ගන්න එක ඔයාගේ වගකීම, එනිසා ඒකට තවත් රූබල් 5ක් කැපෙනවා. ඊට පස්සේ ජනවාරි 10 වෙනිදා ඔයා මගෙන් රූබල් 10ක් ණයට ගත්තා“
යුලියා වසිලියෙව්නා ඇසෙන නෑසෙන හඬින් මිමිණුවා ය.
“මම කවදාවත් ණය ගත්තේ නැහැ“
“නමුත් මං ගාව වාර්තා තියෙනවා“ මම පැවසීමි.
“හොඳයි එහෙනම්. ඔබතුමා කියන විදිහක්“
මම ගණන් සදා අවසන් කළෙමි.
“රූබල් 41න් 27ක් අඩු කළා ම, අපිට තව රූබල් 14ක් ඉතිරියි“
යුලියාගේ කොපුල් තල මතින් කඳුළු වැල් ගලා හැලෙන්නට වී, ඇගේ පියකරු නාසය මත දහදිය පබළු දිස් වද්දි, ඈ බිඳුණු හඬකින් වදන් ඇමිණුවා ය.
“එක ම එක පාරක් රූබල් 3ක් ණයට ගත්තා විතරයි, ඊට වඩා නම් කවදාවත් නැහැ“
පුදුමයට පත් වූ මම මෙසේ පැවසීමි.
“හැබෑට? ඒක මගේ වාර්තාවේ නැහැනේ! එතකොට අපි ඒ රූබල් 3 අඩු කළා ම 11ක් ඉතිරියි. මෙන්න ගන්න ඔයාගේ රූබල් එකොළහ!“
මම ඇගේ වෙව්ලන අත මත කාසි කිහිපය තැබීමි. ඈ ඒවා ඇගේ පසුම්බියේ දමාගෙන මෘදු හඬින් “ඔබට ස්තුතියි“ කීවාය.
කෝපය ඉහවහා ගිය මම ඇගෙන් මෙසේ ඇසීමි.
“ස්තුතියි? අර මොකට ද?“
“සල්ලිවලට“ ඈ කීවා ය.
“ මම ඔයාට වංචා කළා, ඔයාව හූරාකෑවා, ඔයාට අයිති දේ හොරා ගත්තා, එතකොටත් මෙන්න ඔයා මට ස්තුතියි කියනවා?“ මම ඇසීමි.
“අනිත් තැන් වල දී, මට මෙහෙමවත් ලැබෙන්නේ නැහැ.“ ඈ කීවා ය.
මොන තරම් කම්පනයක් ද?
“මොකක්? ඒ අය ඔයාට කීයක්වත් දෙන්නේ නැහැ?“ මම කම්පිත ව ඇසීමි.
“කොහොම විශ්වාස කරන්න ද? මම ඔයාට විහිලුවක් කළේ, ඔයාට පාඩමක් උගන්වන්න! මෙන්න ගන්න ඔයාගේ සම්පූර්ණ පඩිය, රූබල් 80, මං මේක මේ ලියුම් කවරයේ දාලා තියාගෙන හිටියේ ඔයාට දෙන්න!“
මම ඇයට හිමි සම්පූර්ණ වේතනය ඈ අතින් තැබීමි.
“ඒත් ඔයාලා ඇත්තට ම මෙච්චර ම අසරණ ද? ඇයි ඔයාලා විරෝධය නොපාන්නේ? ඇයි ඔයාලා සද්ද නැති ව ඉන්නේ? ඇත්තට ම ඔයාලා මෙච්චරට ම දුර්වල ද? තමන්ට අයිති දේ වෙනුවෙන්වත් ඔයාලට කතා කරන්න බැහැ කියන එක වෙන්න පුළුවන් දෙයක් ද?“
සිහින් සිනාවක් රැඳි මුවින් යුලියා පිළිවදන් දුන්නා ය.
“ඔව්, ඒක වෙන්න පුළුවන් දෙයක්“
මම ඈ දෙස බලාගත් වන ම සිතන්නට වීමි.
මේ මිහිමත දුර්වලයෙකු වන්නට සිදුවීම කෙතරම් නම් වේදනාවක් ද!
(රුසියානු ගත්කතුවර Anton Chekhov ගේ නීනා නම් කෙටිකතාවේ පරිවර්තනය.)
සිංහල බසට නැගුවේ,
– රන්දිකා රණවීර ප්‍රනාන්දු
