හෙදකම කියන්නේ මොන විදියේ දෙයක්ද කියලා කිසිම අදහසක් හෙද පුහුණුවට අයදුම් කරනකොට මට තිබුණෙ නෑ. සාමාන්‍ය භාවිතයේ හිතන විදියටම හෙදියක් කියන්නේ රෝගියාට බෙහෙත් දෙන, එන්නත් විදින, තුවාල වලට බෙහෙත් දාන කෙනෙක් පමණයි කියන දර්ශීය අදහස තමා මටත් තිබුණෙ. ඇත්තටම හෙදියක් වීම කියන බලාපොරොත්තුව මට කවදාවත් නොතිබුණ දෙයක්. විශ්ව විද්‍යාලවල දැන් තරම්ම පාඨමාලා නොතිබුණ ඒ කාලයේ උසස් පෙල විද්‍යා විෂයන්ගෙන් හදාරපු කෙනෙකුට හෙද පුහුණුවට අයදුම් කිරීම හොඳ තෝරාගැනීමක්. පුහුණු කාලයෙත් වැටුප් ලැබෙන රැකියා බොහොම දුර්ලභයි.
කිසිම දෙයක් නොදන්නා රැකියාවකට හැඩගැහෙන්න වගේම නේවාසිකාගාරයක අවුරුදු තුනක් සහෝදර හෙද ශිෂ්‍යාවන් එක්ක ගත කරන්නත් මේ තෝරාගැනීමත් එක්ක මට සිදුවෙනවා. ලංකාවේ හෙද විදුහල්වල් පහසුකම්වලින් ඉහළම හෙද විදුහල වගේම විනය, දරදඬු නීති රීති වලින් පාලනය වුණ ජාතික හෙද විදුහලට ඇතුළුවෙන්න සිද්ධවීම හෙදියක් වෙන්න ගත්ත තීරණය වගේ හුදු අහම්බයක් නෙවෙයි. ඒක මගේම තෝරාගැනීමක්. අදටත් මම ගොඩාක් සතුටුවෙන තීරණයක්. ගෙදර ඉඳලා පැය භාගයක් වගේ දුරකින් තියෙන රත්නපුර හෙද විදුහලේ පුහුණුවට වගේම ජාතික හෙද විදුහලේ පුහුණුවට ලිපි දෙකම ලැබුණෙ එකම දවසේ. ඒත් මට උවමනා උනා ගමෙන් නගරයට යන්න. ඒ නිසා ජාතික හෙද විදුහල තෝරගත්තා. පුංචි කාලේ ඉඳලාම අලුත් දේ අත්හදා බලන්න අම්මා, තාත්තා මාව දිරිමත් කළා. මේ තීරණයටත් එයාල මට ඒ විදියටම උදව් වුණා. ඇත්තටම ජීවිතේ රිද්දන දුක්බර මතක ගොඩක් ගමේම තියලා අලුත් ජීවිතයක් පටන්ගන්න උවමනාව මට කොළඹට එනකොට තිබුණා කිව්වොත් නිවැරදියි.
නේවාසිකාගාර ජීවිතය සතුට, දුක, කලකිරීම, සහෝදරත්වය වගේ හැම හැඟීමක්ම එකතුවෙච්ච එකක්. ඒ කාලේ හිතුවේ කවදා මේකෙන් එළියට එන්න ලැබේවිද කියලා වුණත් දැන් හිතනකොට දැනෙන්නේ ඒ විදියේ පුහුණුවක් නිසාම තමා අදටත් ඕන තැනක දෙපයින් හිටගන්න පුලුවන් වෙලා තියෙන්නේ කියලා. හෙදියන් විතරක් නෙවෙයි, සෞඛ්‍යය ක්ෂේත්‍රයේ බහුතරයක් අසාමාන්‍ය කැපකිරීමක් කරන අය. සාමාන්‍ය මිනිස්සුන්ට සමහර වෙලාවට ඒ කැපකිරීම් ඇත්තටම පේන්නේ නෑ. ඒක ඒ අයගේ වැරැද්දක් නෙවෙයි. හෙදියකගේ හිස් පළඳනා උත්සවයට සේවයට කැපවීමේ උලෙළ කියන්නේ ඒකයි. ඒ පුහුණුව, අධ්‍යාපනය හෙදියන්ව තමන්ගේ සේවයට කැපවෙන්න හොඳින් හැඩගස්වනවා. ඒ නිසා තමා හෙදියකට පුලුවන් වෙන්නේ තමන්ගේ අසනීපයෙන් ඉන්නා දරුවා ගෙදර තියලා ගිහින් තවත් රෝගී දරුවෙකුට හෙදකම් කරන්න.
හෙද පුහුණුවෙන් පස්සේ මම මුලින්ම පත්වීම ඉල්ලුම් කලේ කන්තුක උරස් දැඩි සත්කාර ඒකකයට. සරලව කිව්වොත් හෘද ශල්‍යකර්මවලට භාජනය කරන රෝගීන් සඳහා වන දැඩි සත්කාර ඒකකය. උපතෙන් සති දෙකකටත් අඩු කුඩා දරුවන්ගේ ඉඳලා ඉතාම වයස්ගත රෝගීන් මේ ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. දැන්නම් වැඩිහිටි රෝගීන්ගේ හෘද ශල්‍යකර්ම විතරයි මේ ඒකකයේ කරන්නේ. උතුරේ ඉඳලා දකුණ දක්වාත් නැගෙනහිර ඉඳලා බටහිර දක්වාත් රටේ සියලුම ප්‍රදේශවල රෝගීන් මේ ඒකකයේ අදටත් ප්‍රතිකාර ලබනවා.
හෘද ශල්‍යකර්මයක් තමාට හරි තමන්ගේ පවුලේ කෙනෙකුටහරි කරන්න සිද්දවීම කියන්නේ බරපතළ කාරණාවක්. විශේෂයෙන් දරුවෙකුගේ ඒ වගේ තත්ත්වයක් කියන්නේ දෙමව්පියන්ට ඉතාම වේදනාකාරී වගේම බය ගෙනදෙන අවස්ථාවක්. මේ විදියට තමන්ගේ දරුවන්ගේ ප්‍රතිකාරවලට උතුරු නැගෙනහිර පළාත්වල දෙමවුපියෝ ආවම අපිට ඇති වුණු ප්‍රධාන ගැටලුව තමා භාෂා ප්‍රශ්නය. දෙමළ භාෂාව කතාකරන්න පුලුවන් වෛද්‍යවරු හා හෙදියන් කීප දෙනෙක් හිටියත් ඒ අය හැම සේවා මුරයකම යොදවන්න පුලුවන්කමක් නැහැ. සිංහල දෙමළ භාෂා දෙකම කතාකරන්න හැකියාව තියෙන දෙමවුපියෝ මේ අතර හිටියා. ඒ අයගේ උදව්වෙන් තමා සමහර වෙලාවට සිංහල කතා නොකරන දෙමවුපියෝ එක්ක සන්නිවේදනය පවත්වා ගත්තේ. මම නිතරම උත්සාහ කළේ දමිල සහ ඉංග්‍රීසි භාෂා දෙකම හදාරන්න. ඉංග්‍රීසි හැදෑරීම නම් දිගටම පවත්වාගෙන ගියත් මට දෙමළ භාෂාව එහෙම හදාරන්න බැරි වුණා.
දැඩි සත්කාර ඒකකයේ අවුරුදු හතරකට වඩා සේවය කරපු මම එම රෝහලේම හදිසි ප්‍රතිකාර ඒකකයට මාරුවීමක් ලබාගන්නවා. හෙද විදුහල තෝරාගැනීම වගේම මම ඉතාම සතුටුවෙන තීරණයක් ඒක. මගේ හෙද ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබාගෙන පරිණත හෙදියක් වෙන්න අවස්ථාව මේ නිසා මට ලැබෙනවා. හදිසි ප්‍රතිකාර ඒකකයට අනුබද්ධව රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වගේම බොහෝ සායන තියෙන නිසා මට මේ තීරණයක් එක්ක ඒ සියලුම තැන්වල අත්දැකීම් ලබාගන්න පුලුවන් වුණා. විශාල වපසරියක රෝගීන් වගේම විවිධ අංශවල සේවය කරන බොහෝ සේවකයන් එක්ක සේවය කරන්න ලැබීමත් වෘත්තීය ජීවිතයට බොහෝ දේවල් එකතු කරන අවස්ථාවක්.
ලංකාවේ සේවය කරපු මුලු කාලය පුරාවටම මම සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට නිවාඩු ලබාගෙන තියෙන්නේ දෙතුන් වතාවක් විතරයි. විවාහක හෙදියන්ට නිවාඩු ගන්න අවස්ථාව දෙන්න වගේම මම විවාහ වුණාට පසුවත් රෝහල අසලම වාසය කරපු නිසා මේ විදියට අලුත් අවුරුදු දිනයේ වැඩ කරන්න සිදු වුණා. අවිවාහක කාලයේ මගේ දෙමව්පියන්වත්, පසුකාලීනව මගේ සැමියාවත් ඒ විදිහට වැඩ කරන එක ගැන කවදාවත් අසතුටින් ඉඳලා නෑ. ඒ අය මගේ රැකියාවේ වගකීම් ගැන බොහොම හොඳින් තේරුම් අරගෙන සිටීම මගේ ජීවිතයේ මම ලබපු භාග්‍යයක්. මේ විදියට විශේෂ දවස්වල සේවයේ යෙදීම බොහොම වෙනස් වගේම සුන්දර, සතුටුදායක, වේදනාත්මක වගේ විවිධ අත්දැකීම් ලැබෙන දෙයක්.
අලුත් අවුරුද්ද නිසා රෝහල්ගතවෙන්න තියන අකමැත්ත හේතුවෙන් තමන්ගේ ජීවිතය අහිමිවෙච්ච රෝගීන් ගැන මට ඉතාම වේදනාත්මක මතක කීපයක්ම තියෙනවා.
වයස අවුරුදු හතලිහක, දරුවො තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කරනකොටත් මියගොස් සිටීම එයින් එක අමිහිරි මතකයක්. අපි මොනතරම් උත්සාහ කළත් ඔහුගේ ජීවිතය අපිට බේරාගන්න නොහැකි වුණා. මරණයට හේතුව හදිසි හෘදයාබාධයක්. විශේෂයෙන්ම අවුරුදු කාලයේ විවිධ ආහාර සහ මත්පැන් භාවිතය නිසා පපුවේ ඇතිවන වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා වරදවා වටහාගැනීමත් අවුරුදු කාලයෙන් පස්සේ ප්‍රතිකාරවලට යොමුවෙන්න සිතීමත් තමා ඔහුගේ මරණයට ඇත්තටම හේතුව වුණේ. කොයිතරම් මරණය අත්දැකපු සෞඛ්‍ය සේවකයෙකුට වුණත් මේ වගේ ශෝචනීය අවස්ථාවකට මුහුණදීම ඉතාම අපහසුයි. මේ රෝගියාගේ දරුවෝ ඉතාම ලාබාල වයසේ. ඔහු ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය බවත් බිරිඳ ප්‍රකාශ කළා. නමුත් මොනම හේතුවක් නිසාවත් තමන්ගේ රෝගයකට ප්‍රතිකාර ගැනීම කල්දැමීම හොඳ දෙයක් නෙවෙයි. ඔහුට ඒ සඳහා වන්දි ගෙවන්න සිදුවුණේ තමන්ගේ වටිනා ජීවිතයෙන්.
අවසානයට සඳහන් කළේ මගේ වෘත්තීය ජීවිතයේ එක අත්දැකීමක්. මේ විදියේ විවිධ අවස්ථාවන් අදටත් මම අත්විඳිමින් ඉන්නවා. ඉදිරියටත් මේ ලිපි පෙළ මගින් ඒ වගේ විවිධ අත්දැකීම් ඔබ හා බෙදාගැනීමට මම බලාපොරොත්තු වෙනවා.
මම