රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව විසින් සිය නිර්දේශ ලබා දී ඇතැයි වාර්තා වේ.
එහිදී ඇතැම් ආයතන වසා දැමීමට සහ තවත් ආයතන කිහිපයක රාජ්‍ය භාරය අවසන් කිරීමට ද ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීමටද නිර්දේශ එහි ඇතුළත්ව ඇතැයි සඳහන්.
කජු සංස්ථාව ඇතුළු වාණිජ නොවන රාජ්‍ය ආයතන 12ක් ඈවර කර දැමීමටද එහි නිර්දේශ කර ඇති බව දැනගන්නට තිබේ. ගාලු උරුමය පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය, තොරතුරු තාක්ෂණ ඒජන්සිය වැනි ආයතනද ඊට ඇතුළත් බව සඳහන් වේ.
ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනී ජාලය යන තුන ඒකාබද්ධ කිරීමටද කමිටුව නිර්දේශ කර ඇතැයි වාර්තා වෙ
ඒකාබද්ධ කිරීම සඳහා නිර්දේශිත අනෙකුත් ආයතන වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරි, පොල් වගා මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ තල් සංවර්ධන මණ්ඩලයයි.
රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ ආවේණික අකාර්යක්ෂමතා විසඳීමේ අරමුණින්, රටේ සියලුම වාණිජ නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.
මෙම කමිටුව මඟින් අමාත්‍යාංශ 24 ක් යටතේ ඇති ආයතන 160 ක් නිරීක්ෂණය කර තිබූ අතර පසුගිය සඳුදා දිනයේ මෙම නිර්දේශ වාර්තාව අගමැතිනි හරිනි අමරසූරිය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි දැනගන්නට තිබේ.