/ Sep 15, 2026

තද වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතී.

මේ අතර එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

ඊයේ (14) උදෑසන 8.30 සිට අද (15) අලුයම 3 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ වස්ලතාලාරාමය, කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ මි.මී 146.5ක් ලෙස දැක්වෙයි.

මීගමුව සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ.

කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකිය.

කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top