හිටපු අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ, සමඟි ජනබලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා යළි එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.
අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සැකකරුවන් අද දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙම සැකකරුවන් ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නදුන් චින්තක හෙවත් හරක් කටා පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා සැකකරුවන් රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණු අතර අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර, තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණ වූ බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.





