විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍යා පදනම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ඇතිව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රජයේ පාසල්වල යොවුන් නව නිපැයුම් සමාජ සහ පාසල් විද්‍යා සංගම් පිහිටුවීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ තෝරා ගත් පාසල් යොවුන් නව නිපැයුම් සමාජ (YIC) සහ පාසල් විද්‍යා සංගම් (SSS) 100 ක් නිල වශයෙන් ලියාපදිංචි කර පිහිටුවීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයයේදි පැවැත්විය.
දිවයිනේ සමස්ත පාසල් පද්ධතිය තුළ දේශීය නවෝත්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමේ හා විද්‍යාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ පියවරක් ලෙස, පාසල් දූ දරුවන්ගේ යොවුන් නිර්මාණශීලීත්වය දිරි ගැන්වීම හා නව නිපැයුම් ප්‍රවර්ධනය උදෙසා මෙන්ම STEM අධ්‍යාපනය සඳහා උද්දීපනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් පාසල් පද්ධතිය තුළ නවමු මුහුණුවරකින් නව නිපැයුම් සමාජ සහ පාසල් විද්‍යා සංගම් පිහිටුවීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් යොවුන් නව නිපැයුම් සමාජ (YIC) මෙහෙයවනු ලබන අතර පාසල් විද්‍යා සංගම් (SSS) මෙහෙයවීම ජාතික විද්‍යා පදනම විසින් සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සහ පළාත් ආවරණය වන පරිදි මෙම පැසල් තෝරා ගෙන තිබේ.
එදිනෙදා ජීවිතයේ හමු වන ගැටළු බාධක ලෙස නොසලකා ඒ සඳහා විසඳුම් අත්හදා බැලීමට දිරිගැන්වීමත්, පරිකල්පනය සහ නව නිපැයුම් අතර පරතරය පියවීමට මෙන්ම කුතුහලය නිර්මාණයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සහිත මග පෙන්වීම ලබා දීම යොවුන් නව නිපැයුම් සමාජ හරහා සිදුවේ. STEM
අධ්‍යාපනය ඇතුළුව විද්‍යා අධ්‍යාපනය ජනප්‍රිය කිරීමේ වැඩසටහන් සඳහා පාසල් ප්‍රජාව ඵලදායී හා බලපෑම් සහිත ආකාරයකින් ක්‍රියාකාරීව සම්බන්ධ කර ගැනීම පාසල් විද්‍යා සංගම් හරහා සිදුවේ. ඒ වෙනුවෙන් වර්ෂය පුරා අන්තර් පාසල් වැඩසටහන් සිදු කෙරේ.
මෙහි දී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා මෙසේ පැවසීය.
“ලෝකය විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් හරහා වේගයෙන් ගමන් කරන කාලයක අපේ වටිනාම වත්කම වන පාසල් දරුවන් ප්‍රමුඛ තරුණ පරපුර සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව රජය හදුනාගෙන තිබෙනවා. අප අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පාසල් පද්ධතිය තුළ STEM අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට පුළුල් වැඩසටහනක් පාසල් විද්‍යා සමාජ හරහා ඉදිරියේ දී සිදු කරනවා. ඊට අමතර පියවරක් ලෙස පාසල් පද්ධතිය තුළින් නිර්මාණශීලී දරුපරපුරක් බිහිකිරීමට යොවුන් නිපැයුම් සමාජ ස්ථාපිත කරනවා. යොවුන් නව නිපැයුම් සමාජ සහ පාසල් විද්‍යා සංගම් තුළින් ලෝකයේ නව ප්‍රවණතාවන්ට අනුගත වන විද්‍යා පර්යේෂණ හා නව නිපැයුම් බිහිකිරීමට ශිෂ්‍ය ප්‍රජාව දිරිගන්වනවා. හුදෙක් නව නිපැයුම්කරණයට පමණක් සීමා නොවී වාණිජමය අගය දක්වා මෙම පාසල් නව නිපැයුම් ඔසවා තැබීමට මගපෙන්වීම ලබා දීම අප අමාත්‍යාංශයේ අරමුණයි. ”
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මෙහොමඩ් නවවි, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය භාරතී කෙනඩි, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්‍යක්ෂ නලින් දොලවත්ත, ජාතික විද්‍යා පදනමේ විද්‍යාව සන්නිවේදන හා ප්‍රචාරණ අංශයේ ප්‍රධානී ආචාර්ය දිල්රුක්ෂි රණතුංග යන මහත්ම මහත්මීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.






