2028 වසරේ සිට ශ්‍රී ලංකාව ණය ගෙවීමට පටන් ගැනීමේදී දැනට ගෙවන ප්‍රමාණයට අමතරව ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක් පමණ වාර්ෂිකව රටින් පිටතට ගලායෑමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ‘ලංකා ටයිම්ස්’ වෙත පැවැසීය.
ශ්‍රී ලංකාව රටක් ලෙස දැනට ගෙවන්නේ බහුපාර්ශ්වීය ණය සහ ඇතැම් ණයවලට අදාළ පොළී පමණක් බව මහාචාර්යවරයා පැවැසීය.
එහෙත් 2028 සිට ද්වීපාර්ශ්වීය ණය (රටවල්වලින් ගත් ණය) සහ භාණ්ඩාගාර බැදුම්කර ණය (ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ ස්වෛරී බැඳුම්කර නිකුත්කර ලබාගත් ණය) යන දෙකම ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ඔහු කීය.
ඒ අනුව දැනට ගෙවන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 2.5 ක් පමණ වාර්ෂික ණය ගෙවීමක් වැඩිපුර සිදු කරන්නට වන බව සඳහන් කළ හෙතෙම ගෝලීය දේශපාලන ආර්ථික තත්ත්වය හා ලෝකයේ වෙළෙඳාමට ඇති වී තිබෙන වෙනස් වූ තත්ත්වය හමුවේ එය සිදු කිරීමට හැකි වේද යන ගැටලුවට ශ්‍රී ලංකාව මුහුණපා ඇති බව අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ පොළී අනුපාතික ඉහළ යෑමට නියමිත බවත් අප රටක් ලෙස එම වෙළෙඳපොළෙන් ණය ගන්නවා නම් එවිට ඉහළ පොළියක් ගෙවීමට සිදු වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
යුදමය තත්ත්ව, භූ දේශපාලන අභියෝග වර්ධනය වන බවත් එම වටපිටාව තුළ අප සාර්ථකව 2028 දී ණය ගෙවා ගෙන යෑමට නම් අපනයන අංශය ඉතාමත් දැඩි ලෙස ශක්තිමත් කළ යුතු බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය.
මෑත කාලයේ සංචාරක ව්‍යාපාරය වුව බිඳවැටීමක් වී තිබෙන බවත් විශේෂයෙන්ම යුරෝපයේ සිට මෙරටට එන සංචාරකයන් අඩු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඩුබායි හරහා මෙරටට පැමිණීමේදී භූ දේශපාලන යුද්ධයේ බලපෑම හා ගුවන් යානා ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් ගුවන් ටිකට්පත් (Airfare price) මිල ඉහළ යෑම නිසා සංචාරකයන් පැමිණීම අඩු වී ඇති බව ද ඔහු කීය.
එබැවින් පවතින භූ දේශපාලන වටපිටාව තුළ ශ්‍රී ලංකාව රටක් ලෙස නිවැරදි ලෙස තීන්දු ගෙන මෙරටට එන ඍජු විදේශ ආයෝජන Foreign direct investment-FDI) හා අපනයන වර්ධනය කිරීමට සැළසුමක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මහාචාර්යවරයා කීවේය.
මෙම ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය උපායමාර්ගික සැලසුමක් ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
සචිත්‍ර පෙරේරා






