පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල තුන්වන සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටියි.
අදාළ නඩු කටයුත්ත මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ උක්ත දැනුම්දීම කළේය.
සැකකාර සුරේෂ් සලේ පසුගිය 25 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර මේ වන විට දින 90ක රැඳවුම් භාරයේ පසුවෙයි.
අද නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සුරේෂ් සලේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබේදැයි විමසා සිටින ලදී.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව මෙම පුද්ගලයා සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව රැඳවුම් නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ නිරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැක්කේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳ හෙළීමේ ක්‍රියාවල නිරත වන පාර්ශවයන්ට සහ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව පමණක් බවයි.
නමුත් සුරේෂ් සලේට එවැනි වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවත් පෙත්සම්කරු කියා තිබේ.
රටේ භෞමික අඛණ්ඩතාව බිඳ හෙලමින් නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරළා දැමීමට ක්‍රියාකළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් වලට එරෙහිව එම පනත භාවිතා කිරීමට හැකියාව ඇති අතර 2022 වසරේ සිදුවූ අරගලයට එරෙහිව ද මෙම පනත භාවිතා කිරීමට හැකියාව තිබූ බව පෙත්සම්කරු සඳහන් කළේය.
නමුත් පාස්කු ප්‍රහාරය තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු එය හුදෙක් ආගමික දෘෂ්ටිවාදයක් පදනම් කරගෙන සිදුවී ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන් කර තිබේ.
එසේම සුරේෂ් සලේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඒ අනුව එම චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති නම් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත.





