/ Jun 05, 2026

ලංකාවේ සයිබර් වංචා කල්ලි ගැන චීන⁣ය දැඩි අවධානයෙන්!

සයිබර් මූල්‍ය වංචා ජාලයන්හි සැකකරුවන් ලෙස ශ්‍රී ලංකාව තුළදී දිගින් දිගටම චීන ජාතිකයන් අත්අඩංගුවට පත්වීම ගැන චීන රජයේ දැඩි අවධානය යොමුව ඇතැයි ‘ලංකා ටයිම්ස්’ වෙත විශ්වසනීය ආරංචි මාර්ග පවසයි.

මෙවැනි ජාලයන්ට දේශීය මට්ටමින් යම් ආකාරයක පහසුකම් සැලසීමක් හෝ සහායක් සංවිධානාත්මකව ලැබෙන්නේද යන්න පිළිබඳව චීන ආරක්ෂක අංශවලට බරපතල සැකයක් මතුව ඇතැයි මේ සම්බන්ධයෙන් උනන්දු රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍රයකින් ලංකා ටයිම්ස්ට දැනගැනීමට ලැබිණ.

මහා පරිමාණ ජාලගත මූල්‍ය වංචා සහ සයිබර් අපරාධ මෙහෙයවන විදේශීය අපරාධ කණ්ඩායම් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වීම පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මට්ටමින්ද විමර්ශන සිදුකෙරෙමින් පවතී.

මෙම කණ්ඩායම් ඔන්ලයින් රැකියා ලබාදෙන බව පවසමින්, ව්‍යාජ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟමින්, ආයෝජන අවස්ථා පෙන්වා දෙමින් සහ ව්‍යාජ වෙබ් අඩවි භාවිත කරමින් පුද්ගලයන්ගේ මුදල් හා බැංකු තොරතුරු සොරකම් කරන බව අවස්ථා ගණනාවකදී අනාවරණය විය.

මෑත කාලයේදී මෙරට විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර විමර්ශන වලදී හෙළිවූයේ ඔවුන් සංචාරක හෝ ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ සිටි බවය.

එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් වංචා ජාලයන්ගේ ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් බවට පත්වීම වැළැක්වීම සඳහා අදාළ සියලු පාර්ශ්ව සමඟ සමීපව කටයුතු කිරීමට ද මේ වනවිට රජයේ දැඩි අවධානය යොමුව තිබේ.

ජාත්‍යන්තර වාර්තාවලට අනුව මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල ද සයිබර් වංචා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, ඇතැම් අවස්ථාවලදී පුද්ගලයන් බලහත්කාරයෙන් එම ජාලවලට සම්බන්ධ කර ගන්නා බවද වාර්තා වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ ජනතාවට දැනුම් දෙන්නේ සැකකටයුතු දුරකථන ඇමතුම්, සමාජ මාධ්‍ය පණිවිඩ, රැකියා යෝජනා හෝ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

විදේශීය අපරාධ ජාලයන්ගේ ක්‍රියාකාරකම්වලට මෙරට තුළින් සහාය ලබාදෙන පුද්ගලයන් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන තවදුරටත් පුළුල් කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top