/ Jun 17, 2026

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමි දැන සිටි බවට පළවන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයි!

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, මෙම අසත්‍ය ප්‍රකාශ පළමුව සමාජගත වීම ආරම්භ වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් 2020 වසරේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කළ ප්‍රකාශයක් ඔස්සේ බවයි.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව 2020 සැප්තැම්බර් 19 වන දින කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු හිමිවරුන් තිදෙනෙකුගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පැහැදිලි කර ඇති බවද එහි දැක්වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී සංසරණය වන, කාදිනල් හිමිපාණන් ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට වන ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති සම්පූර්ණ අසත්‍ය ප්‍රචාර බව කතෝලික සභාව අවධාරණය කරන අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු ප්‍රභූ ආරක්ෂක අංශ වෙත කලින් දැනුවත් කර තිබූ නමුත් ඒ හරහා කාදිනල් හිමිපාණන් දැනුවත්ව සිටි බවට සමාජ මාධ්‍යයේ පළවන ප්‍රකාශද අසත්‍ය බව එම නිවේදනයේ දක්වා ඇත.

මෙවැනි අසත්‍ය ප්‍රචාරවල අරමුණ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කර සැබෑ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා සිදු කෙරෙන විමර්ශනවලට බාධා කිරීම බව පෙනී යන බවද කතෝලික සභාව පවසයි.

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් කතෝලික සභාව ඉල්ලීමක් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top