වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද, එම මිල ගණන් අනුව මෙරට පවතින ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළ අතර ඔහු පැවසුවේ වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිල දී ගත් ඉන්ධන බැවින්, එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් වැඩි මිල ගණන්වලට ආනයනය කළ ඉන්ධන පරිභෝජනය කර අවසන් වූ පසු, මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වන බව ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ වැඩි මිලට ලබා ගත් ඉන්ධන වන අතර මිල අඩු කිරීම සඳහා යම් කාල පමාවක් සිදුවනු ඇති නමුත් ඉන්ධන මිල අඩු වනු ඇති බවට බලාපොරොත්තුවක් ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව මේ වන විට ලබා දී තිබෙන සහනය ඉවත් නොකර පවතින මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩු කිරීම ඉදිරියේදී සලකා බලන බවද හෙතෙම කියා සිටියේය.





