පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද (18) යළි අභියාචනාධිකරණයේ දී සලකා බැලීමට නියමිතයි.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.
මෙම පෙත්සම ඊයේ දින අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු පෞද්ගලික හේතූන් මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කර තිබුණි.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ ඊයේ පෙරවරුවේ බැවින් වගඋත්තරකරුවන්ගෙන් මේ දක්වා උපදෙස් ලැබී නොමැති බවයි.
එමෙන්ම නිසි උපදෙස් ලබාගැනීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට කිසිදු ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවද ඇය අවධාරණය කළාය.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ සභාපති විනිසුරුවරයා මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අද දින නැවත කැඳවන ලෙස නියෝග කරන ලදී.





